Photobucket

Saturday, February 23, 2013

ශ්‍රී ලංකාවේ විශාලතම සීනි කම්හල හොරොව්පොතානට

මෙරට විශාලතම සීනි කර්මාන්ත ශාලාව හොරොව්පොතාන ප්‍රදේශයේ ආරම්භ කිරීමට රජය සැලසුම් කොට ඇති බව ආර්ථික සංවර්ධන හා ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ හා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා සීනි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ මග පෙන්වීම මත ඉදි කෙරෙන යෝජිත සීනි කර්මාන්ත ශාලාවෙන් මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවයෙන් සියයට විස්‌සක්‌ නිෂ්පාදනය කිරීම ඉලක්‌කය වී ඇති බවද හෙතෙම කීය.

පසුගිය 17 දා අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

දිවයින පුරා සීනි කර්මාන්ත ශාලා හයක්‌ ඉදිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළ නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා ඉන් ප්‍රධානම සීනි කර්මාන්ත ශාලාව හොරොව්පොතාන ප්‍රදේශයේ ඉදිකිරීමට රජය සැලසුම් කිරීම රජරට ජනතාව ලද ජයග්‍රහණයක්‌ බවද කීවේය.

යෝජිත සීනි කර්මාන්ත ශාලාව ඉදිකිරීමත් සමගම අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ගොවීන් ලක්‍ෂයකට සෙත සැලසෙනු ඇති බවත් ඇමැතිවරයා කීය.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ජලය යාන් ඔයෙන් ලබා ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all