Photobucket

Thursday, February 21, 2013

රජතුමා මිය ගිය මොහොතේත් චංගුමී පිටුවහල් කළ මොහොතත් මට අතිශය සංවේදී විදිහට දැනුණා

සුජාත දියණි ටෙලි නාට්‍යයේ මිංජුංහෝං සිංහලයෙන් කතා කරවූ කමල් ගමගේ
මෑත ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ උන්මාදනීය පෙරැළියක් ඇතිකළ “සුජාත දියණි” ටෙලි නාට්‍යය අවසන් වී සති කිහිපයක් ගෙවී ගියද තවම එම නාට්‍යය පිළිබඳ සෙනෙහෙබර රසික මතකය සිත් සතන් තුළින්  බැහැර වී නැත. ‘සුජාත දියණි’ නාට්‍යයේ චංගුමීට හඬදුන් ශිල්පිනී සිතාරා පවිත්‍රානි පසුගිය සතියේ රැජින සමග ඔබ වෙත අපි කැඳවාගෙන ආවෙමු. මේ සතියේ අප චංගුමීගේ පෙම්වතා ‘මිංජුංහෝට හඬ කැවූ ශිල්පියා ඔබට හඳුන්වාදීමට සිතුවෙමු. ඔහු කමල් ගමගේය.

”මිංජුංහෝං” ට හඬ දුන් ඔබ කාලාන්තරයක් ක්‍ෂේත්‍රයේ රැඳී සිටි හඬ කැවීම් ශිල්පියෙක්
මම හා හා පුරා ජාතික රූපවාහිනියේ හඬ කැවීම් ශිල්පියකු විදියට එකතුවුණේ 1990 දී. එතකොට මම කොළඹ ඉසිපතන විදුහ‍ලේ උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබනවා. ටයිටස් තොටවත්ත සූරීන් විසින් හඬ කැවීම් සිදුකළ “නාසරත් හි ජේසුස්” නාට්‍යයේ සුළු චරිතයකට තමයි මුලින්ම හඬ මුසු කළේ. එදාමෙදා තුර විදෙස් ටෙලි නාට්‍ය සෑහෙන ප්‍රමාණයක් සඳහා හඬ කැවීම් සිදුකර තිබෙනවා.

ඔබ හඬ කැවීම් ශිල්පියෙකු වුණේ කොහොමද ?
මම පදිංචිය කළුබෝවිල. ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාස‍ලේ අධ්‍යාපනය ලැබුවා. පාස‍ලේ වගේම දහම් පාසල තුළදීත් කථික තරග, නාට්‍ය තරග ආදිය තුළින් මගේ දක්ෂතා දියුණු කරගන්න මට ලැබුණා. අතුල රන්සිරිලාල් මහතා අපේ දහම් පාස‍ලේ ගුරුවරයෙක්. එතුමා දක්ෂතා ඇති ළමයින්ගේ
දක්ෂතා දියුණු කරගන්න බොහෝ ඇපකැපවූ ගුරුවරයෙක්. එතුමා දක්ෂ ළමයින් හඬකැවීම් සඳහා සහභාගි කරවූවා. දීපිකා ප්‍රියදර්ශනී, රසාදරී පීරිස් අපේ දහම් පාස‍ලේ හිටි අපිට වඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවෝ. අතුල සර් තමයි මටත් රූපවාහිනියට එන්න අවස්ථාව ලබා දුන්නේ.

චංගුමී තරමටම අද ඇගේ ප්‍රේමවන්තයාත් බොහෝ අයගේ අවධානයට යොමුවෙලා. මොකද ඔබ ඒ ගැන හිතන්නේ ?
ප්‍රේමය අද බොහෝ නිර්මාණ තුළින් අපි දකිනවා. චිත්‍රපටවලිනුත් දකිනවා. ඒත් චංගුමීගෙයි ඇගේ පෙම්වතාගෙයි ප්‍රේමය ඊට හාත්පසින්ම වෙනස්. ඒක සංයමශීලී අධ්‍යාත්මික ප්‍රේමයක්. ඒ නිසාම ඒ චරිතය මගේ හිතටත් තදින්ම කාවැදුණා.

කමලුයි සිතාරයි ඒ අධ්‍යාත්මික ප්‍රේමයට හඬ දුන් ආකාරයත් අපූරු අත්දැකීමක් වන්න ඇති
එතැන තියෙන අපූරුම අත්දැකීම තමයි අපි දෙන්නා හමුවුණේ. නාට්‍යය අවසානයේදී වීම. මගේ රැකියාව නිසා හඬ කැවීමට එක්වුණේ හවස හයෙන් පසුව. අනිත් අය දවල් වරුවේ දෙබස් කැවීම් සිදුකළා. ඒ හින්දා සිතාරටයි මටයි එකට දෙබස් කවන්න ලැබුණේම නැහැ. නමුත් අවසන් කොටසේ දෙබස් කැවීම් සිදුකළේ නිවාඩු දවසක. ඒ නිසා එදා තමයි අපි දෙන්නා එකට දෙබස් කැවීම් සිදුකළේ. 

සුජාත දියණි දෙබස් කවද්දී ඔබට තදින් සිතට දැනුණු අවස්ථා ඇති ....
අවසානයේදී චංගුමීගේ දුව අම්මා දඬුවම් කරලා තාත්තා ළඟට ඇවිත් අඬනවා. තාත්තා ඇයව හුරතල් කරනවා. ඒ ජවනිකා මට තදින් දැනුණා. ඒකට හේතුව මමත් දුවල දෙදෙනෙකුගෙ තාත්තා කෙනෙකු වීම හින්දා වෙන්න ඇති.

කමල්ගෙ පෞද්ගලික තොරතුරුත් මේ කතාබහට එකතු කරමු
මගේ බිරිඳ කෞෂල්‍යා ගංගානි. ලොකු දුව සඳලි හෙළාරා විශාඛා විදුහ‍ලේ 2 වසරේ ඉගෙන ගන්නවා. සුජාත දියණි පළවෙනි කොටසේ රජ්ජුරුවන්ගේ ළමා කාලයට හඬ දුන්නේ ඇය. බාල දුව සෙතුලි තෙදාරාට තවම අවුරුද්දයි.

“සුජාත දියණි” නාට්‍යයේ ඔබගේ දෙනෙතට දුක් කඳුළු එක්කළ අවස්ථා නැද්ද ?
අන්තිමට මමයි මගේ පෙම්වතිය චංගුමීයි රජ මාලිගාවට යනවා. එතැනදී රජු මියගිහින්. ඒ ජවනිකාව අපටත් හරිම හැඟීම්බර එකක් වුණා. ඒ වගේම චංගුමී පිටුවහල් කරන ජවනිකාවත් මට අතිශය සංවේදී විදිහට දැනුණා.

“සුජාත දියණි” නිසා අද ඔබට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා ඇති
දෙසැම්බර් 23 වැනිදා ඉරිදා ජාතික රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහන තුළින් අපව පෙන්වන තුරු බොහෝ අය මාව දැකලා තිබුණෙ නැහැ. මම හඬකැවීම්වලට සම්බන්ධ බව මගේම යාළුවෝ “සුජාත දියණි එකේ මිංජුංහෝගේ චරිතයට කටහඬ දෙන්නේ කවුද? නියමෙට කරනවානේ” කියල කියපු අවස්ථා තිබෙනවා. මග තොටදීත් ඒ චරිතයට බොහෝ ප්‍රතිචාර ලබල තියනවා. නමුත් ඉතින් මං ඒ ගැන මුකුත් කියන්න යන්නේ නැහැ.

ඒ අතර වූ සුවිශේෂ අවස්ථා ඇති
දවසක් මම දෙහිවල බස් නැවතුමක ඉන්නකොට එක්තරා බාලිකාවක පාසල් සිසුවියෝ පිරිසක් මගෙ ළඟට ආවා. “අපේ ඉස්කෝ‍ලේ සයන්ස් ඩේ එකට ආධාර පිණිස අපි ප්‍රමෝෂන් එකක් කරනවා” කියලා ඒ අය කිව්වා. බලනකොට ඒ විකුණන්නේ “චංගුමීගෙයි එයාගෙ පෙම්වතාගෙයි පිංතූර ඇතුළත් බුක් මාක්. ඒ වෙලාවේ මමත් රුපියල් විස්සක් දීලා ඒ බුක්මාක් එකක් ගත්තා. එතැන මාත් එක්ක හිටපු මගෙ යාළුවා මාව ඒ ළමයින්ට හඳුන්වා දෙන්න හැදුවා. එහෙම කරන්න එපා කියලා මම එයාට ඇහෙන් ඉඟිකළා. ඒකට හේතුව මාව මතුනොවී මම කරපු දේ මතුවනවා දකින්නයි මා තුළ තියන කැමැත්ත කියලයි මම හිතන්නේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all