Photobucket

Wednesday, February 20, 2013

මගේ ‘ඉර හඳ තරු’ ඊළඟ පරපුරටයි

 අපි මුලින්ම ‘ඉර හඳ තරු’ ප්‍රසංගය ගැන කතා කරමුද?
අපි මේ ප්‍රසංගයට නම යොදලා තිබෙන්නේ ‘ඉර හඳ තරු’ කියලයි. මේක පරම්පරා තුනක දක්ෂතා කුසලතා එළිදැක්වීමක් කියලා කිව්වොත් මම හිතන්නේ නිවැරැදියි. ඇත්තෙන්ම ඉර හඳ තරු වික්ටර් රත්නායක මියැසි දායාදය කියන නමින් තමයි ප්‍රසංගය කෙරෙන්නේ. මේ ගැන විවරණයක් කළොත් මා මගේ නිර්මාණවලින් ජනපි‍්‍රයත්වයක්, ප්‍රසිද්ධියක්, කීර්තියක් ඇතිකරගෙන ඉන්න කලාකරුවෙක් වුණත්, මේ ප්‍රසංගය පවත්වන්නේ එවැනි අරමුණකින් නොවෙයි. මෙහි බොහෝ විට දකින්නට තිබෙන්නේ මගේ ගීත ගායනය හෝ මගේ නිර්මාණ එළිදැක්වීමක් නොවෙයි. 

නමුත් වෙනත් ගායක ගායිකාවන්ට, නාමිකව ගතහොත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, නන්දා මාලිනි, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, රුක්මණී දේවි, ශි‍්‍රමති තිලකරත්න, ලතා වල්පොල, සුජාතා අත්තනායක, අබේවර්ධන බාලසූරිය වැනි කලාකරුවන්ට මා නිර්මාණය කළ ගීත මා නොගැයුවත්, මගේ දූ දරුවන් සහ මුනුපුරු මිනිබිරියන් මේ ගීත ගයනවා. ඒ වගේම අපේ ළමා පරපුර වෙනුවෙන් මා අතින් විශාල නිර්මාණ දායකත්වයක් සපයා තිබෙනවා. ඒ ළමා ගීත ගයන්නට මගේ කුඩාම මුනුපුරු මිනිබිරියන් සූදානම් වෙලා ඉන්නවා. ඇත්තෙන්ම මෙය ඉතාම චමත්කාරජනක ප්‍රසංගයක් වේවි. සංගීතය කියලා ගත්තම පරිසමාප්ත අර්ථයෙන් ම ගායන වාදන නර්තන කියන තුන් ඈඳුතු ශිල්පීය ක්‍රමයෙන් ම මෙය සමන්විතයි.

මෙවැනි ප්‍රසංගයක් පවත්වන්නට අරමුණ වුණේ කුමක්ද?
ඇත්තවශයෙන් ම ඒක පුද්ගල ප්‍රසංගයක් හැටියට ‘ස’ ප්‍රසංගය පුරා වසර 39 ක් කරලා සමාප්තියත් කළා. ඊට පස්සේ මට හිතුණා මම විතරක් මේ ඔටුන්න පලඳාගෙන ඉන්නවද කියලා. දැන් මට අවුරුදු 71 ක් වෙනවා. අපි දැන් මෙයින් අයින් විය යුතු කාලයනේ. නමුත් අපේ නිර්මාණවල තිබෙන ප්‍රභාෂ්වරය ඊළඟ පරපුරට දෙන්නට ඕනෑ කියන පරමාර්ථයෙන් තමයි මේක සංවිධානය කළේ. නමුත් අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ මේ ප්‍රසංගය ලංකාව පුරා අරගෙන යන්න. මම මගේ දරුවන්ට දායාද කරනවා, ඊළඟට ඔවුන් ඔවුන්ගේ දරුවන්ට දායාද කරනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ සුභාවිත ගීතයට, සංගීතයට මගෙන් වෙච්ච කිසියම් සේවයක් තියෙනව නම් මේක ඊළඟ පරපුර වෙත දෙන පණිවුඩයක් හැටියටයි අපි කරන්න හදන්නේ.

මෙයට සම්බන්ධ වන ඔබේ දරු මුනුපුරන් ගැන කතා කළොත්?
මගේ දරුවෝ හතරදෙනයි. දියණියන් දෙදෙනා සහ පුතාලා දෙදෙනා. ලොකු දුව චාන්දනී. පොඩි දුව මංජුලා. ජයන්ත වැඩිමලා. ඊළඟට ලෙලුම්. මේ හතරදෙනාගේ මුනුපුරු මිනිබිරියන් මට නවදෙනෙක් ඉන්නවා. ඒ අතරින් 7 දෙනෙක් මේ ප්‍රසංගයේ ගීත ගායනා කරනවා. ජයන්තගේ දුවයි පුතයි ගීත ගයනවා. නටනවා. ඒ වගේම වාදනමය ප්‍රසංගයකුත් ඉදිරිපත් කරනවා. ජයන්තගේ පුතා සජන, දුව සෙජිනි. ඊළඟට චාන්දනීගේ දුවයි පුතයි. දෙන්නා චේතනී වන්දනා සහ විනුජ තරුෂ්කත් මේකට සම්බන්ධ වෙනවා. මේ කුඩා දූ පුතුන්ගේ හැකියාවන් ඒ වයසේ ඉන්න අයටත් කිසියම් උත්තේජනයක් ඇතිවිය හැකියි කියලා හිතනවා.

අපි අතීතයට ගියොත් ඔබ ජනපි‍්‍රයත්වයේ ඉහළම තලයේ ඉන්නා කාලයේ කාර්ය බහුලත්වයත් සමඟ ඔබේ දරුවන්ගේ දක්‍ෂතා හැකියාවන් දැක්කේ කොහොමද?
ඇත්තෙන්ම දරුවෝ හතර දෙනාටම කවදාවත් මම කියලා නෑ සංගීතය හදාරන්න, මේ ක්ෂේත්‍රයට එන්න කියලා. නමුත් ඉතින් ජාන ශක්තියෙන් හෝ වේවා ඒ ගොල්ලන්ට මේවා පිහිටලා තිබෙනවා. පසුකාලීනව මා සංගීත නිර්මාණය කරන හැටි බලා ඉඳලා ජයන්තත්, ලෙලුම් දෙන්නම දැන් නිර්මාණකරුවන් බවට පත්වෙලා තිබෙනවා.

මේ අය යහපත් දරුවන් බවට පත්වුණේ මගේ බිරිඳ නිසා. ඒ කාලයේ මගේ කලා කටයුතු නිසා මම ගත කළේ විශාල අවිවේකී දිවියක්. ඒ වෙනකොට මගේ බිරිඳ චිත්‍රා, මගේ දරුවන්ගේ මව නියමම ගෘහණියක් හැටියට, මවකගේ සියලුම ගුණාංග පෙන්වමින් තමයි මේ දරුවෝ හතරදෙනා ලොකු මහත් කළේ. ඒක නිසා මේ දරුවෝ ඉතාම අපූර්වත්වයකින් හැදුණා. දරුවන්ට කැමැති මාර්ගය තෝරා ගන්න ඉඩ දුන්නා.

ඔබේ මුනුපුරු මිනිබිරියන්ගේ දක්ෂතා ඔබ දකින්නේ කොහොමද?
මගේ දරුවෝ කලාවේ මතුවේගෙන එනකොට ඔවුන්ගේ කුඩා දරුවෝ මගේ ගීත අහන්න මා වෙනත් අයට කරපු ගීත අහන්න යොමු වුණා. ඒ හරහා මේ අයත් නිවැරදි දේ තෝරාගෙන විඳින්නටත් ඒ ගීත මුමුනන්නටත් ගයන්නටත් හුරුවෙලා ඉන්නවා. මේ ප්‍රසංගයේදි සිංහල, ඉංගි‍්‍රසි, දෙමළ, හින්දි කියන භාෂා හතරෙන්ම ගීත ගැයෙනවා. නමුත් මේ ගීත ඉතාම උසස් තත්ත්වයේ කෙරුණු නිර්මාණ හැටියටයි ගැයෙන්නේ. ශාස්ත්‍රීය අංග ලක්‍ෂණ පෙන්නුම් කරමින් තමයි ගැයෙන්නේ. මේ දරුවෝ විෂයානුබද්ධව විශේෂ හැදෑරීමක් නෑ. නමුත් මම විශ්වාස කරන්නේ ඔවුන්ට මේවා ජානමය ලක්ෂණවලින් ආපු දේවල් කියලයි. අද තුන්වැනි පරම්පරාව හැටියට අපේ රටේ ඇහෙන සංගීත රටා දිහා බලද්දි මගේ මුනුපුරු මිනිබිරියන් ගැන මට සතුටුයි. ඔවුන් ඒ ගීත අහනවා ඇති. නමුත් වැඩිහිටියන් හැටියට දරුවන්ට වටිනාකම් හරියට පහදලා අවබෝධ කරලා දෙනව නම් ඔවුන් නොමඟ යන්නේ නෑ. මේ දරුවන්ගේ වින්දන ශක්තිය උසස් මට්ටමින් පෝෂණය වෙලා තිබෙනවා. මේ අය වෘත්තිය වශයෙන් සංගීතය තෝරාගන්නේ නැති බව මම හොඳාකාරවම දන්නවා. නමුත් වෙනස් විෂයන් හරහා ඔවුන්ගේ ජීවිතය සකස්කර ගනීවි.

හෙට බිහිවෙන අනාගත පරපුරට ඔබට මොනවද කියන්න තිබෙන්නේ සංගීතය හා කලාව පිළිබඳ?
වර්තමාන දරු දැරියන්ට කියන්න තිබෙන්නේ කවමදාවත් අනුන්ගේ ගීත ගායනා කරලා නම් ක්ෂේත්‍රයේ නමක් දිනාගන්න බැහැ කියලයි. අනුන්ගේ ගීත ගයනතාක්කල් ඔහු හෝ ඇය ආධුනිකයින් පමණයි. ඉන් මිදෙන්නට නම් ස්වතන්ත්‍ර නිර්මාණයන්ට යොමු විය යුතුයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all