Photobucket

Sunday, February 24, 2013

කොදෙව් ක්‍රීඩිකාවන්ට පළමු තරගයෙන් කඩුලු 4ක ජයක්

රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට කොදෙව් පිල සමත්විය.

ඕවර 38කදී කඩුලු 6ක් පමණක් දැවී තරගය ජයගනිමින් තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිමට කොදෙව් පිලට හැකිවිය. කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 41ක්ව තිබියදී බිඳ දැමීමට චමනි සෙනවිරත්න සමත්වුවාය. ඒ ලකුණු 17ක් ලබාසිටි නටාෂා මැක්ලෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. 

නායිකා ස්ටෙෆ්නි ටේලර් ලකුණු 7ක් ලබාසිටියදී සෙනවිරත්නගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඩ්‍රැන්ඩා ඩොටීන් පන්දු 39කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 43ක් රැස් කළ අතර කේසොයා නයිට් ලකුණු 36ක් වාර්තා කළාය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 9කට ලකුණු 164ක් රැස් කළේය. මුළු ලකුණු සංඛාව 39ක් වෙද්දී ආරම්භක පිතිකරිනියන් යුගලය ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට ශාකිරා ‍සෙල්මන් සමත්විය. පළමු කඩුල්ල‍ ලෙස චමරි පොල්ගම්පොල ලකුණු 16කට දැවී ගිය අතර ප්‍රසාදීනි වීරක්කොඩි ලකුණු 13ක් ලබා සිටියදී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේය.

චමරි අතපත්තු සමගින් තෙවැනි කඩුල්ල සඳහා එක්වු දිපීකා රසාංගිකා ලකුණු වේගය වැඩි කිරීමේ උත්සහයක නිරත වුවද අනිෂා මොහොමඩ් ක්‍රියාත්මක කළ 29වැනි ඕවරයේදී රසාංගිකා කැම්බෙල් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. ඒ වන විට මුළු ලකුණු සංඛාව 85ක් විය. පන්දු 38කදී හ‍තරේ පහර 4ක් සමගින් රසාංගිකා රැස්කළ ලකුණු 28 ඉනිමේ වැඩිම පෞද්ගලික ලකුණු ලෙසද සටහන් විය. 

චමරි සමගින් දිපිකා ‍තෙවැනි කඩුල්ල සඳහා එක්කළ ලකුණු 46 ඉනිමේ වැඩිම ලකුණු සබඳතාව ලෙසින්ද සටහන් විය. චමරි අතපත්තු ලකුණු 27ක් ලබා සිටියදී දැවී ගිය අතර නායිකා ශෂිකලා සිරිවර්ධනටද ලබාගත හැකිවුයේ ලකුණු 7ක් පමණි. 

විශිෂ්ට පන්දු යැවීමක නිරතවු ශාකිරා සල්මෙන් ඕවර 10කදී නිලකුණු ඕවර 5ක් සමගින් ලකුණු 8කට කඩුලු 2ක් බිඳදැමු අතර සෙමනි කැම්බෙල් කඩුලු 2ක් දවාලීය. මේ තරගය සඳහා කොදෙව් පිලේ නායිකා මිරිස්සා අගුලෙයිරා ක්‍රීඩා නොකළ අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ස්ටෙෆ්නි ටේලර්හට හිමිව තිබිණි.

දෙවන එක්දින තරග 24වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකාව-164/9 (ඕවර 50) දිපිකා රසාංගිකා 28, චමරි අතපත්තු 27, ශ්‍රීපාලි වීරක්කොඩි 21 (එස්.සෙල්මන් 8/2, එස්.කැම්බෙල් 13/2)

බටහිර ඉන්දීය කොදෙව්- 165/6 (ඕවර 38) ඩ්‍රැන්ඩා ඩොටීන් 43, කේසොයා නයිට් 36 (චමනි සෙනවිරත්න 23/2, ශෂිකලා සිරිවර්ධන 41/2)
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all