Photobucket

Thursday, February 21, 2013

වසර 300ක ඉතිහාසයක් ඇති හැඳල ලාදුරු රෝහල නවීකරණය කෙරේ

වසර 300 ක ඉතිහාසයක් ඇති පැරණි හැඳල ලාදුරු රෝහල නවීකරණය කොට සංරක්ෂණය කිරීමට රජය පියවර ගෙන ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි රෝහල් නවීකරණය කිරීම යටතේ වත්තල හැඳල ලාදුරු රෝහල ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර එහි වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. 

ලාදුරු රෝගය සඳහා ප්‍රතිකාර සොයා ගැනීමෙන් පසු 1983 සිට මෙම රෝහලට රෝගීන් ඇතුළත් කරගැනීම නවතා තිබෙන හෙයින් පෞරාණික වටිනාකමක් ඇති ඕලන්ද යුගයේ 1708 දී ගොඩනඟා ඇති මෙම රෝහල සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම රෝහල ලාදුරු රෝගය සඳහා නිසි ප්‍රතිකාර සොයා ගැනීමට පෙර එම රෝගය වැළදී ඇති රෝගීන් සඳහා ඉදිකරන ලද්දක් වන අතර රෝහල ආරම්භ කළ වකවානුවේ රෝගීන් 1,900 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබාඇති බවද මේ වනවිට සුවය ලැබූ රෝගීන් 43 ක් එම රෝහලෙහි නේවාසිකව සිටින බවද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 

එයින් 15 දෙනෙකු ස්තී‍්‍රන් වන අතර ඔවුන් සම්පූර්ණ සුවය ලබා තිබුණ ද නිවෙස්වලින් භාර නොගැනීම හේතුවෙන් රෝහලේම නතරවී සිටින බව රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරී නාමල් ගුණසේකර මහතා සඳහන් කරයි. 

මේ වනවිට ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලාදුරු රෝගීන් 2,000 ක් පමණ හදුනාගෙන ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එම ප්‍රමාණය සියයට 46 ක් බවට ජාතික ලාදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු මහත්මිය පවසන්නීය.. සෙසු ලාදුරු රෝගීන් නැඟෙනහිර සහ වයඹ යන ප්‍රදේශවලින් බහුල වශයෙන් හදුනාගෙන තිබෙන අතර ශ්‍රී ලංකාවේ ලාදුරු රෝහල් 02 පිහිටා ඇත්තේ හැදල සහ මඩකළපුව, මාන්කුලම්වලය. 

හේකිත්ත ලාදුරු රෝහල පිහිටා ඇති භූමියේ බෞද්ධ පන්සලක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක්, ක්‍රිස්තියානි පල්ලියක් සහ රෝමානු කතෝලික පල්ලියක්ද පිහිටා තිබේ. ලාදුරු රෝගී අංශයට වාට්ටු 04 ක් අයත්ය. සම්පූර්ණ කාර්ය මණ්ඩලය 47 ක් වන අතර එයට වෛද්‍යවරයෙක්, සහකාර වෛද්‍යවරයෙක්, හෙදියන් 07 ක් සහ සුළු සේවකයින් 38 ක් අයත් වෙති. එම රෝහල නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය ඇමැතිවරුන් වන සරත් ගුණරත්න සහ දුලිප් විජේසේකර, බස්නාහිර පළාත් ඇමැති නිමල් ලන්සා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සරත් අමුණූගම මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all