Photobucket

Thursday, February 21, 2013

ලක්මව රනින් සැරසූ ප්‍රසන්න අමර‍සේකරට ලක්ෂ 20ක මුදල් තෑගි උපහාරයක්

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලදී පදක්කම් 50ක් දිනා ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කරදුන් ආසියානු ශූර ප්‍රසන්න සම්පත් අමරසේකර ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කළ ඊයේ දිනයේ රු‍‍.ලක්ෂ 20ක මුදල් තෑගි ඔහුට පිරිනැමුණි‍.

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නියෝගයක් මත ක්‍රීඩා සංවර්ධන අරමුදලෙන් ලක්ෂ හතක්ද, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන් ලක්ෂ හතහමාරක් හා ඔහු සේවය කරන ශ්‍රී ලංකා යුද හමුදාවෙන් රු.ලක්ෂ 5ක් ඇතුළුව මේ මුදල් තෑගි පිරිනැමුණි. ක්‍රීඩා විද්‍යා ආයතනයේදී මලල ක්‍රීඩා ශූර ප්‍රසන්න සම්පත් අමරසේකර මලල ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ස්තුතියක් පුද කළේය. 

එක්තරා අවස්ථාවකදී රැකියාව පවා අහිමිව බොහෝ කරදරයට පත්වු විටක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට තිබු මානුෂික පිඩාවෙන් මිදීමට දැක්වු අනුග්‍රහය හා සහයෝගය වෙනුවෙන් එම විශේෂ ස්තුතිය මලල ක්‍රීඩා ශූර ප්‍රසන්න සම්පත් විසින් සිදු කරන ලදි.

ප්‍රසන්න සම්පත් ජාත්‍යන්තර තරගවලදී රන් පදක්කම් 18ක් රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 10ක් දිනාගැනීමට සමත්වු අති දක්ෂ ක්‍රීඩකයෙකි‍.

ඔහු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 3ක්, ආසියානු ගොන්ප්‍රී තරගාවලියේදී රන් පදක්කම් 10ක් හා දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් 2ක් දිනා දක්ෂතාව දැක්වීය.

ඔහුගේ ක්‍රීඩා දිවියේ කැපී පෙනෙන අවස්ථාව වුයේ වසර 2005දී ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400ඉසව්ව තත්පර 45.47කින් නිම කිරීමය. එය ඔහුගේ තරග දිවියේ මී‍ටර් 400 ඉසව්වේ ගතකල හොඳම කාලයයි. එම දක්ෂතාව ඔලිම්පික් 'ඒ' ශ්‍රේණියේ පරිසාධන මට්ටම ඉක්මා යෑමක් වන අතර ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 25වැනි යා විය. එම දක්ෂතාවය එවක ආසියානු ශ්‍රේණිගත කිරිම්වල අංක එක බවට පත්වීමද විශේෂත්වයකි.

වරෙක යුද හමුදා ක්‍රීඩා තරග වාර්තා කිහිපයක්ම බිඳ හෙලමින් යුද හමුදා ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු බවටද පත්විය.

මේ අවස්ථාවට එක්වු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා ප්‍රකාශ කළේ ප්‍රසන්න සම්පත් සමුගැනීම මලල ක්‍රීඩාවේ තවත් ආරම්භයක් විය යුතු බවය.

“මා බලාපොරොත්තු වෙනවා ප්‍රසන්න මලල ක්‍රීඩාවේ දක්ෂ පුහුණුකරුවෙක් වෙයි කියලා. ඔහු ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට ගෙන දුන්නා. ඒ වගෙම තවත් ජයග්‍රාහී පරපුරක් බිහිකිරීම සඳහා පුහුණුකරුවෙකු වෙනවානම් අපේ විය යුතුදේ ඉටු කරනවා” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

මේ උත්සව අවස්ථාවට ඔහුගේ මුල් පුහුණුකරු කේ.එච්.පී.ජයතිස්ස මහතා හා පසුකාලීන පුහුණුකරුවු සුනිල් ගුණවර්ධන මහතාද එක්වුහ. එමෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම මහත්ම මහත්මිහු සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් එක්ව සිටියහ.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all