Photobucket

Wednesday, February 20, 2013

දුමින්ද ඇතුළු 13 දෙනකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු දමයි

පසුගිය පළාත් පාලන මැතිවරණයදා කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තබා ගැනීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකු ඝාතනයට ලක්‌වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු චූදිතයන් 13 දෙනකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (19 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.


භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුව ඊයේ (19 දා) කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්‌ථාවේ භාරත ලක්‍ෂ්මන් මහතාගේ දියණිය හිරුණිකා සහ පවුලේ ඥතීන් අධිකරණය වෙත පැමිණි අයුරු සහ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන එන අයුරු. ඡායාරූප - සුජාතා ජයරත්න

නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වී මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම ආදී චෝදනා 10 ක්‌ යටතේ චූදිතයන්ට එරෙහිව නීතිපතිවරයාගේ දැනුම් දීමක්‌ අනුව නඩු විභාගයක්‌ සඳහා චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා වෙත දන්වා සිටියේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ දන්වා සිටීම අනුව චූදිතයන්ට එරෙහි චෝදනාවන්ට ලඝූ නොවන නඩු විභාගයක්‌ පැවැත්වීම සඳහා අතිරේක මහෙස්‌ත්‍රාත් සඳුන් විතාන මහතා හමුවේ පෙනී සිටින ලෙසට පැමිණිල්ලට හා විත්තිකරුවන්ට නියෝග කෙරිණි.

ඒ අනුව භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්පුද්ගල ඝාතනයට අදාළ නඩු විභාගය අතිරේක මහෙස්‌ත්‍රාත් සඳුන් විතාන මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ද අගතියට පත් පාර්ශ්වය හා චූදිතයන් වෙනුවෙන් ද පෙනී සිටි නීතිඥයන් කළ දැනුම් දීම් කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා නඩු විභාගය ලබන 14 දා කැඳවන ලෙසට නියෝග කළේය.

සිද්ධියට අදාළව චූදිතයකු ලෙස නම් කර ඇති දුමින්ද සිල්වා මහතා නඩු විභාගය සඳහා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙසට පැමිණිල්ලටත්, ඔහුගේ නීතිඥයාටත් නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයට පෙර කරුණු දක්‌වන ලෙස ද නියම කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all