Photobucket

Tuesday, January 15, 2013

ආදරයේ කුමරිය සුජාත දියණිය ලී යන්ග් ඒ

දැන් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර උන්මාදයක් පැතිර ගිහින්. සැවොම දකුණු කොරියානු මාලා ටෙලි නාටකයක් වූ ‘සුජාත දියණී’ නරඹනවා පමණක් නොවෙයි, එහි ප්‍රධාන චරිතය වූ ‘චංගුමී’ට බෙහෙවින් ආදරය කරනවා. බොහෝ දෙනාට ඇය තම සොහොයුරියක, මිතුරියක, දියණියක තරම් සමීපයි. මේ චංගුමී චරිතයට පණ පෙවූ හොඳම නිළිය ලෙස ජාත්‍යන්තර සම්මාන පවා දිනූ ලී යන්ග් ඒ ගැන තොරතුරයි.

ගහ කොළ මල් ගල් ගැසී බලා සිටිනවා
යුක්තිය යුතුකම් සොයා ඇය පියඹනවා
සුජාත දියණියක් ඔබත් මේ බිම උපදී
සැඟව සිනාසෙනු මැන හසරැල්ලද තහනම්

මේ තේමා ගීතය අද මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ඉතා හුරු පුරුදු වූවක්. සංගීත රුව සමඟ තේමා ගීය විකාශනය වීම ඇරඹෙද්දීම වයස් බේදයකින් තොරව බාල තරුණ මහලු සැවොම නිවෙස්වල ආලින්දයට රොක්ව රූපවාහිනී යන්ත්‍ර වටා අසුන් ගන්නේ සුන්දර චංගුමී පිළිබඳ කතාව රැගත් දකුණු කොරියානු මාලා ටෙලි නාටකයකට සිංහල දෙබස් කවා නිමවා ඇති ’සුජාත දියණී’ දැකගන්න.

 සමකාලීනව මෙරට වඩාත් ජනප්‍රියම රූපවාහිනී වැඩ සටහන, මාලා ටෙලි නාටකය ‘සුජාත දියණී’ කීම වරදක් නොවෙයි. එහි ජනප්‍රියත්වයට කුතුහලය හා ගැටුම් පිරීගත් කතා පුවත වගේම චංගුමී ගේ චරිතයට පණ පොවන නිළියගේ රංගන විලාසය හා රූමත් බවත් හේතුවී තිබෙනවා. ඇත්තටම කවුද මේ චංගුමී?

චංගුමී චරිතයට පණ පොවන නිළිය ලී යන්ග් ඒ. 1971 ජනවාරි 31 දා දකුණු කොරියාවේ සියෝල් නුවර දී උපන්නියක්. මේ මස අගදී ඇය සමරන්නේ තමන්නේ 42වැනි උපන් දිනය. 1991 දී ලී යන්ග් රූපවාහිනී ක්‍ෂේත්‍රයට එක්වූයේ වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක විදියට. පසුව ඇය රූපවාහිනී ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක හැටියට ද කටයුතු කිරීම ඇරඹුවා.

හව්’ස් යුවර් හස්බන්ඩ් (1993) තමයි ඇය රඟපෑ පළමු කොරියානු ටෙලි නාට්‍යය. ‘ඩෑෂ්’ (1994), ‘අස්ප්හෝල්ට් මෑන්’ (1995), ‘ලව් ඇන්ඩ් මැරේජ්’ (1995) වගේ ටෙලි නාට්‍ය හරහා ඇය දකුණු කොරියාව පුරා රූපවාහිනී නිළියක ලෙස ජනප්‍රිය වුණා. ඒ නිසාම ඇයට එරට සිනමාවේ දොරටු ද විවෘත වුණා. ‘ඉන්ෂල් ලාහ්’ (1996) තමයි ඇය රඟපෑ පළමු චිත්‍රපටය. ‘ෆස්ට් කිස්’ (1999) ‘ජොයින්ට් සෙකියුරිටි ඒරියා’ (2000) ‘ලාස්ට් ප්‍රසන්ට්’ (2001) ‘වන් ෆයින් ස්ප්‍රිංග් ඩේ’ (2001) හා ‘සිම්පති ෆො ලේඩි වෙන්ජියන්ස්’ (2005) තමයි ඇය එතෙක් මෙතෙක් රඟපෑ සිනමා පට හැටියට හැඳින්වෙන්නේ.

ජර්මන් භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ උපාධිධාරිනියක හා ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක වන ඇය දකුණු කොරියාවෙන් පිටත ලොව පුරා රටවල් සෑහෙන සංඛ්‍යාවක ජනප්‍රියත්වය ලැබුවේ 2003 දී දකුණු කොරියාවේ එම්.බී.සී. රූපවාහිනී සමාගම නිෂ්පාදනය කළ ලී බ්යුන්ග් හූන් ගේ අධ්‍යක්ෂණයක් වූ ‘ටේ ඡැන්ග්-ගෙයුම්’ නැතහොත් ‘සුජාත දියණී’ මාලා ටෙලි නාටකයත් සමඟ. ‘ටේ ඡැන්ග්-ගෙයුම්’ යන්නෙහි අරුත ‘ශ්‍රේෂ්ඨ ඡැන්ග්-ගෙයුම්’ යන්නයි. මෙරට ප්‍රේක්ෂකයන්ගේ පහසුවට ‘ඡැන්ග්-ගෙයුම්’ යන්න ‘චංගුමී’ වී තිබෙනවා. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල මේ මාලා ටෙලිනාටකය විකාශය වී තිබෙන්නේ ‘ජුවෙල් ඉන් ද පැලස්’ (මාලිගයේ මැණික) යන නමින්.

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 150ක වියදමකින් තැනූ මෙම මාලා ටෙලි නාටකය චීනය, තායිවානය, හොංකොං, මලයාසියාව, සිංගප්පූරුව, ජපානය, බෘනායි, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය හා වියට්නාමය වැනි ආසියානු රටවලත්, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, ස්වීඩනය, රුසියාව, ඉරානය, සෞදි අරාබිය, තුර්කිය, පේරු, කොලොම්බියාව, ඊජිප්තුව, රුමේනියාව, කැනඩාව, ඇමෙරිකාව, හංගේරියාව, ඊශ්‍රායලය හා නවසීලන්තය වැනි රටවල ද විවිධ රූපවාහිනී සේවා ඔස්සේ විකාශය වී තිබනෙවා. එසේ විදෙස් රටවල විකාශය වෙමින් එම ටෙලි නාටකය ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 400ක් පමණ වනවා.

චංගුමී චරිතයට පණ පෙවූ ලී යන්ග් ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍ර වූ සිනමා නිළියක වග සමහර විට ඔබ නොදන්නවා ඇති. කැට්ලුන්යා ජාත්‍යන්තර සිනමා උලෙළේදීත් සිනෙමැනිලා ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේදීත් ඇය හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ ‘සිම්පති ෆො ලේඩි වෙන්ජියන්ස්’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්. ඒ හැර ඇය දකුණු කොරියාවේ පැවැත්වෙන පූසාන් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ‘වන් ෆයින් ස්ප්‍රිං ඩේ’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් විචාරක සම්මානය දිනා තිබෙනවා.

දකුණු කොරියාවේ පැවැති රූපවාහිනී සම්මාන උලෙළයන්හිදී ඇය හොඳම නැඟී එන නිළිය ලෙස 1994 දීත් ජනපි‍්‍රයම නිළිය ලෙස 1995 සහ 1999 වසරවලදීත් හොඳම නිළිය ලෙස 1996 හා 1998 යන වසරවලදීත් සම්මාන දිනා තිබෙනවා.

ලී යන්ග් ප්‍රධාන චරිතය රගපෑ මේ ඡැන්ග් ගෙයුම් මාලා ටෙලි නාටකය දකුණු කොරියාවේ විකාශය වීම ආරම්භ වී ඇත්තේ 2003 සැප්තැම්බර් 15 දා. එරට රූපවාහිනී ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ මාලා ටෙලි නාටකය ලෙස එය වාර්තා පිහිටුවූවා. දකුණු කොරියාවේ සමස්ත රූපවාහිනී ප්‍රේක්ෂක සංඛ්‍යාවෙන් 57.1% ‘ටේ ඡැන්ග් ගෙයුම්’ නැතිනම් ‘සුජාත දියණී’ නරඹා තිබෙනවා.

”මම රංගනයට පිවිසියේ 1991 දී චොකලට් වර්ගයක් පිළිබඳ වෙළෙඳ දැන්වීමකට පෙනීසිටිමින්. ඊළඟට ටෙලි නාට්‍යවල රඟපාන අතරතුර මට දැනුණ දෙයක් තමයි රංගනය යනු හැදෑරිය යුතු විෂයයක් බව. ඉන් පස්සේ මම සියොල්හි රංගනය ඉගැන්වෙන පාසලකට ඇතුළුව රඟපෑම ගැන හැදෑරුවා” ලී යන්ග් පවසයි.

 චංගුමී චරිතය රඟමින් ලැබූ ජනප්‍රියත්වය නිසාම ඇයට හොංකොං, සිංගප්පූරුව, තායිවානය, චීනය, හා ජපානය යන රටවල සංචාරයට ඒ රටවලින් ආරාධනා ලැබුණා. 1997 දී ඇය ඉතියෝපියාවට ගියේ එරට සාගතයෙන් දුක් විඳින ජනතාවට සහන සලසන රාජ්‍ය නොවන සංවිධානයක තානාපතිවරියක ලෙසයි. එතැන් පටන් ඇය ලෝකයේ දුක් විඳින ජනතාවට සහන සලසනු පිණිස ක්‍රියාකාරී වූවා. 1997 දීම ඇය තාර් කාන්තාර පෙදෙසට ගියේ ඉන්දියාවේ දුක්විඳින කුලහීන ජන කොටස් පිළිබඳ රූපවාහිනී වැඩසටහනක් සඳහායි. එමෙන්ම ඇය යුනිසෙෆ් ආයතනයේ තානාපතිවරියක ලෙස ද සුබසාධක කටයුතුවල යෙදුණා. දුක්විඳින ජනතාව සමඟ එක්වෙමින් ඔවුන් අතරට යමින් තමන් ලද අත්දැකීම් ඇතුළත් කොට ඇය ලියූ ග්‍රන්ථය ‘අ මෝස්ට් ස්පෙෂල් ලව්’ නිකුත් වූයේ 2001 වසර අගදී. එම පොත අලෙවියෙන් ලැබූ සියලුම ආදායම් ඇය යෙදවූයේ පුණ්‍ය කටයුතු සඳහායි.

2006 දී ලී යන්ග් තම ස්වයං චරිතාපදානය ‘යන්ග් –ඒ ‘ස’ වව්’ යන නමින් ප්‍රකාශයට පත් කළා. කොහොම වෙතත් ඇය 2009න් පසුව රූපවාහිනී හා සිනමා කැමරාවලින් මෙන්ම මාධ්‍ය වෙතින් ද ඈත්වූවා. 2009 වසරේදී ඇය හදිසියේම ප්‍රකාශ කළේ තමන් යුග දිවියට ඇතුළු වනවා කියායි.

”මම මගේ වයස විසි තිස් ගණන්වල සාර්ථක ජීවිතයක් ගත කළා. සෑම චරිතයක්ම රඟපාද්දී මට දැනුණේ කන්දක් නඟිනවා වගේ. ඒ වයස් මට්ටම්වලදී මම එක කන්දක් නැඟ හමාරව තවත් කන්දක් වශයෙන් දිගින් දිගටම කඳු නැග්ගා. ඊළඟට මට සිතුණා මා විවාහ විය යුතු වයස ඇවිදින් කියා” එදින ලී යන්ග් පැවසුවා.

2009 අගෝස්තු 24දා ලී යන්ග් විවාහ වුණේ ජෙයොන්ග් හෝ යන්ග් නමැති කොරියා - ඇමෙරිකා ව්‍යාපාරිකයකු සමඟ විවාහය සිදුවුණේ ඇමෙරිකාවේදී. ලී සහ ජෙයාන්ග් හමුවී තිබුණේ සරසවි අධ්‍යාපනය ලබද්දී. දීර්ඝ කාලයක් එකිනෙකාට ආදරය කිරීමෙන් පසුවයි ඔවුන් එසේ විවාහ වූයේ. 2011 පෙබරවාරි 20දා ඇය නිවුන් දරු දෙදෙනකුට උපත ලබා දුන්නා.

”මම වසරක් පුරා දරු දෙදෙනාට මව්කිරි ලබා දුන්නා” දරු දෙදෙනාගේ පළමු උපන් දිනය දා ඇය මාධ්‍යයන්ට හෙළි කළා. “ගර්භණී කාලයේ දී මා ආහාරයට ගත්තේ සාම්ප්‍රදායිකව මෙන්ම පාරම්පරිකවම ගර්භණී කාන්තාවන්ට සුදුසු යැයි හැඳින්වෙන කොරියානු ආහාර. තවමත් මම මගේ දරුවන්ට දෙන්නේ මව් කිරි”

පසුගිය වසරේ ජූනි මාසයේ දී ඇය තම දරු දෙදෙනා සහ සැමියා සමඟ පදිංචියට ගියේ අක්කර 180ක් විශාල වතුයායක් මධ්‍යයේ අලුතින්ම තැනුණ සුපිරි සුඛෝපභෝගී මන්දිරයකට. අතිශය සුන්දර පරිසරයක පිහිටි එම මන්දිරයේ තම දරුවන් පාසල් යවන වයස එළඹෙන තුරු විසීමයි ලී යන්ගේ ගේ අදහස.

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් 5 දා වසර හතරකට පසු ලී යන්ග් රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ඒ ‘අවර් ස්කූල් ඉස් කොරියන් ස්ටයිල්’ නම් වැඩ සටහන් මාලාවේ පස්වැන්නට. ඇය ඊට සහභාගි වූයේ තම සැමියා සමඟින්. එය ටෙලි නාටකයක් නොවෙයි. දකුණු කොරියානු අධ්‍යාපන ක්‍රමය ගැන ජනතාව දැනුවත් කරන වැඩසටහන් පෙළක්. නැවතත් මේ සුරූපිනිය ටෙලි නාටකයකින් හෝ සිනමා පටයකින් දැකගත නොහැකි වේවිද?

”මට දැන් මගේ සැමියා හා දරුවන් සමඟ ජීවිතය ගත කරන්න අවශ්‍යයි” ලී පවසන්නේ “හොඳ නිෂ්පාදනයකට ඇරැයුමක් ලැබුණොත් ඒ ගැන සලකා බලන්න මම කැමැති නැතුවා නෙවෙයි. ඒත් අද මට බෙහෙවින්ම අවශ්‍ය වී තිබෙන්නේ දරුවන් දෙදෙනාව ඉතා හොඳීන් හදන්න. වඩන්න. මට ඔවුන් දෙදෙනා තරම් වටිනා අන් කිසිවක් මේ ලෝකයේ නැහැ.”

මේ වන විට ඇය සැමියා හා එක්ව කොරියානු තේ සහ සාම්ප්‍රදායික කොරියානු ළමා ආහාර ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යනවා. නැවතත් ඇය පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් දැකගන්න ලැබේවිද යන්න අවිනිශ්චිතයි.

එහෙත් ආදරයේ කුමරිය ද, සතුට ද, සුසුම ද වූ මේ පොළෝ තලේ උපන් සුජාත දියණිය චංගුමී ගේ චරිතයට පණදුන් ලී යන්ග් පිළිබඳ මතකය ලොව පුරා රූපවාහිනී ප්‍රේක්ෂකයන් බහුතරයකගේ සිත්හි තවත් සෑහෙන කාලයක් රැඳී තියේවි.
Share on :

2 comments:

Unknown said...

වටිනා ලිපියක්.
එන්න යන්න නෙතින් එහා සැරිසන්න

sadasd said...

නියම ලිපියක්... කතාවත් පට්ටම පට්ට

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all