Photobucket

Tuesday, January 15, 2013

පහසුවෙන් දික්‌කසාද වීමට නීතියෙන් ඉඩ නොදිය යුතුයි

විවාහකයන්ට පහසුවෙන් දික්‌කසාදය ලබා ගැනීමට නීතියෙන් ඉඩ කඩ නොදිය යුතු බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පැවසීය.

දික්‌කසාද වීමේ අයිතිය මානව අයිතිවාසිකමක්‌ වුවත්, එයින් දරුවන්ට සිදු වන පීඩාකාරී තත්ත්වය හමුවේ මව්පියන් දික්‌කසාද විමෙන් ඔවුන්ගේ දරුවන්ගේ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ඇමැතිවරයා කීවේය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී ඇමැතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.

"බටහිර සමාජයට දික්‌කසාදය සාමාන්‍ය දෙයක්‌ වුවත් අපේ රටේ සංස්‌කෘතියට, සදාචාරයට, පවුල් ජීවිතවලට එය සුදුසු දෙයක්‌ නෙවෙයි. දික්‌කසාදයට පසුව සිදුවන දේවල් දරා ගැනීමට බටහිර සමාජය සකස්‌වී ඇති නමුත්, අපේ ජන සමාජයට එය දරා ගැනීමට අපහසුයි. දික්‌කසාදය ප්‍රශ්න රැසකට මුල පිරීමක්‌ වන නිසා අපි කටයුතු කළ යුත්තේ, දික්‌කසාදය අවම කිරීමේ ප්‍රායෝගික තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම උදෙසායි.

කාන්තාවන් වෙනුවෙන් ගන්නා ඇතැම් යහපත් තීන්දු තීරණවලට බොහෝවිට බාධා කරන්නේ කාන්තාවන්ම බව කනගාටුවෙන් වුවත් පැවසිය යුතුයි. ප්‍රීතිමත් පවුල අද නගරයෙන් පමණක්‌ නොව ගැමි සමාජයෙනුත් ගිලිහෙමින් යනවා. බුදු දහමට අනුව ජීවත් වන සමාජයක පවුල් සංස්‌ථාව බිඳ වැටීම විශ්මයට කාරණාවක්‌. වේගයෙන් බිඳවැටෙන පවුල් සංස්‌ථා මගින් විදහා පාන්නේ බුදු දහම නොසලකා හරින බවයි. අනෙකුත් ආගම්වලත් සදාචාරය, සංස්‌කෘතිය, හැදියාව ගැන කියා තිබෙනවා. මිනිස්‌ සමාජය එම ධර්මතාවන් අනුගමනය නොකිරීම නිසා සීග්‍රයෙන් පිරිහෙමින් පවතිනවා.

මෙම අවස්‌ථාවට ජාතික කාන්තා කමිටුවේ සභාපති ආචාර්ය ලීල් ගුණසේකර, මහාචාර්ය කුසුමා කරුණාරත්න, ආචාර්ය පද්මිණී බටුවිටගේ, ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර, විධායක අධ්‍යක්‍ෂ කේ. එම්. ආරියරත්න යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all