Photobucket

Tuesday, January 15, 2013

මහමඟ රාජකාරියක සිටි සැරයන් ලොරියකට යට වී මරු දකී

පේරාදෙණිය පොලිස්‌ වසමේ ගෙලිඔය ගුරුදෙණිය ප්‍රදේශයේ (14 දා) අලුයම 1.00 ට පමණ මහා මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ සැරයන්වරයකු, පොලිස්‌ ආරක්‍ෂක සහායකවරයකු සහ තවත් පුද්ගලයකු ලොරියක හැපීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස්‌ සැරයන්වරයා මියගොස්‌ ඇත.

තුවාල ලැබූ පොලිස්‌ ආරක්‍ෂක සහායක සහ අනෙක්‌ පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් මියගොස්‌ ඇත්තේ පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ මුරුතලාව දෙහිගම පදිංචිව සිටි කේ. ටී. ජී. යූ. කරුණාරත්න (පී එස්‌ 5605) නමැති 57 හැවිරිදි තිදරු පියෙකි. තුවාල ලබා ඇත්තේ පොලිස්‌ ආරක්‍ෂක සහායක (356) ලලිත් ධර්මදාස සහ පේරාදෙණිය ඒදඬුවාව පදිංචි එස්‌. ඒ. එගොඩගෙදර නමැති දෙදෙනාය.

ඊයේ අලුයම පේරාදෙණිය පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක්‌ අනුව ගෙලිඔය ප්‍රදේශයේ ගුරුදෙණිය ඉන්ධන පිරවුම්හල අසල දෙපිරිසක්‌ අතර ඇති වූ කලබලයක්‌ පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා පොලිස්‌ සැරයන්වරයා සහ ආරක්‍ෂක සහායක එහි ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ පිරිසක්‌ විසින් අලාභ හානි කර මහ පාරේ දමා ගිය ත්‍රිරෝද රථයක්‌ මාර්ගය අයිනට ගැනීමට තල්ලු කරමින් සිටියදී ගම්පොල දෙස සිට ධාවනය වූ ලොරියක්‌ ත්‍රිරෝද රථයේ හා එය තල්ලු කරමින් සිටි පිරිසගේ ඇඟේ හැපීමෙන් මේ අනතුර සිදුව ඇත.

මේ අවස්‌ථාවේ තුවාල ලැබූ තිදෙනකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් සැරයන්වරයා මියගොස්‌ සිටි බව ද රෝහලින් වාර්තා වේ.

මියගිය සැරයන් කරුණාරත්න මහතාගේ දරුවන් දෙදෙනකුම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් වන අතර එක්‌ අයකු මෙවර උසස්‌ පෙළ විභාගය සඳහා පෙනී සිටි බව ද පැවසේ.

අනතුර සිදුකළ ලොරියේ රියෑදුරු වන බදුල්ල කට්‌ටියගොල්ල කොබෝවත්ත පදිංචි සිතාසිවම් ඥනප්‍රකාශම් (28) නමැත්තා පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර (14 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජාලිය හීංකෙන්ද මහතාගේ උපදෙස්‌ පරිදි රථවාහන අංශයේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිලන්ත විඡේසිංහ, උප පොලිස්‌ පරික්‍ෂක දෙනියගොඩ, සැරයන්වරුන් වන (32293) සෙනෙවිරත්න, (20738) රාජරත්න, (29264) සරත් බණ්‌ඩාර, කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂක කුමුදිනී සේනානායක, කොස්‌තාපල්වරුන් වන (47188) අනුරුද්ධ, (46590) බඹරදෙනිය, කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (3786) දිල්රුක්‍ෂි යන මහත්ම මහත්මීහු පරීක්‍ෂණ සිදුකරති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all