Photobucket

Monday, January 14, 2013

තහනම් හීනයේ සීමා මායිම් නෑ

හඬවන්නේ ඇයි මාව රහසින්
සඟවන්න ඔය නුරා බැල්මන්
තහනම් හීනයේ දෑස යා වුණේ
සනසන්න ඔය දෙතොල් පහසින්
නැළවෙන්න මා ගාව රහසින්
තහනම් නේද මේ මැරුණු ආත්මයේ
සීමා නෑ - මායිම් නෑ
දෑසින් කී කතා නිමා වෙන්නෙ නෑ
සීමා නෑ - මායිම් නෑ
තරු ඇස් කී කතා නමක් දුන්නෙ නෑ
හැම රෑම ළඟ ඉන්න
සිහිනෙන්
සැනසෙන්න ඉඩ දෙන්න සුවඳින්
එක්ටැම් ලොවක නෑ, පැතූ ආදරේ
හුරතලෙන් දැවටෙන්න ආසයි
හිත ළඟම තනිවෙන්න ආසයි
සරදම් ඕන නෑ - පාළු ජීවිතේ
සීමා නෑ - මායිම් නෑ
දෑසින් කී කතා නිමා වෙන්නෙ නෑ
සීමා නෑ - මායිම් නෑ
තරු ඇස් කී කතා නමක් දුන්නෙ නෑ
නන්නාඳුනන ලෙසින් ඔබ ඉන්නෙ ඇයි දුරින්
උතුරනා ආදරෙන් තෙමන්නදෝ ලවන්
රෑ අහසේ පාවෙලා තරු අසන්නේ කෝම මං
පියා ගන්නෙමි ඇස් යන්න හීන අරන්
සීමා නෑ - මායිම් නෑ
දෑසින් කී කතා නිමා වෙන්නෙ නෑ
සීමා නෑ - මායිම් නෑ
තරු ඇස් කී කතා නිමා වෙන්නෙ නෑ
 
* පද රචනය සහ ගායනය – අභිෂේකා විමලවීර
* තනුව - දිලුම් තේජන හෙට්ටිආරච්චි
* සංගීතය – ලහිරු පෙරේරා

සිතුවිලිවලට වගේම සිහින වලටත් සීමා මායිම් නැහැ. විශේෂයෙන් අසම්මත ආදරයක හිත පැටලුණු යුවතියකගේ තහනම් හීනයකදී සීමා මායිම් තිබෙන්නම බැහැනේ. අහසේ පායා තියෙන තාරුකා වහන්න බැහැ වගේ තමයි හිතක ඉපදෙන සිතුවිලි තහනම් කරන්න හෝ හීනයක සීමා මායිම් පනවා වළකන්න හෝ කාටවත්ම බැහැ. ජීවිතාන්තය තුරාම සැබෑ නොවන බැව් දැන දැනම වුවද සිය සිහිනවල සුන්දරත්වය විඳින්න වර්තමානයේ ජීවත් වන බොහෝ පෙම්වතුන් කැමැතියි. ‘හඬවන්නෙ ඇයි මාව රහසින්’ ගී සංකල්පනාව මා පද රචනය කළෙත් එවැනි තහනම් හීනයක සුන්දරත්වය විඳින අසම්මත පෙමක පැටළී විටෙක සැනසෙන තවත් විටෙකදී හඬා වැටෙන යුවතියක පිළිබඳවයි.”

එලෙස පවසමින් මෙවර “ගී මිහිර” ගෙනෙන්නට අප සමඟ එක් වන්නේ අභිෂේකා විමලවීර ය. පසුගියදා නිරාන් අලහකෝන් සමඟ යුග දිවියට පිවිසි අභිෂේකා ප්‍රකට විමලවීර කලා පවුලෙන් කලා ක්ෂේත්‍රයට එක් වී සිටින ගායන ශිල්පිනියක වන අතර සිය පියා වන සුනිල් විමලවීරයන්ගේ අඩිපාරේ ගමන් කරමින් ගී පද රචිකාවියක ද වී සිටියි. මුලින්ම නිවේදිකාවක් ලෙස අප හඳුනාගත් අභිෂේකා පසුගිය වකවානුවේද ඉන් දුරස් වූවත් ගායනයෙන් සහ ගී පද රචනයෙන් නම් කිසි දිනෙක දුරස් වෙන්නේ නැතිලු. අභිෂේකාගේ ගී අතරින් මුලින්ම රූප රචනයක් (සංගීත විඩියෝවක්) කෙරුණු ගීතය ද වන “හඬවන්නේ ඇයි මාව රහසින්” ගීතයේ සංකල්පනාව පිළිබඳව ඇය අප සමඟ කළ කෙටි කතා බහයි මේ.

”වර්තමාන සමාජයේ අපිට වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ අසම්මත ප්‍රේම සම්බන්ධතාවයනුයි. මං විශ්ව විද්‍යාලයේ ගත කළ කාලයේ දීත් දැක්ක පෙම්වතුන්ගේ සබඳතාවයනුත් බොහොමයක්ම අසම්මත ඒවා. තරුණ කාලේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට හොරෙන් නැත්නම් පෙම්වතියක හෝ පෙම්වතෙකු උන්නත් ඇයට හෝ ඔහුට හොරෙන් එසේත් නැත්නම් විවාහ වී සිටියත් සිය බිරිඳට හෝ සැමියාට හොරෙන් ආදී වශයෙන් කොපමණ නම් අසම්මත ප්‍රේම සම්බන්ධතා මේ ලෝකයේ පවතිනවා ද..? මගේ මේ ගී සංකල්පනාවේ යුවතියත් එවැනි අසම්මත ආදරයක සිහින අතරේ සීමාවක් නැති සිතුවිලිවල පැටලිලා. හැබැයි මේ යුවතියගේ ආදරය තහනම් හීනයක් වගේ. ඇය ඔහුගේ පහස විඳින්නේ ඒ හීනය තුළ පමණයි. ඔහුගෙයි ඇගෙයි ආදරයට තවම නමක් නැහැ. විටෙකදී ඇය දකින හීනයේ ඔහු ළඟින්ම ඉන්නවා. තවත් විටෙකදී ඒ හීනයේ ම ඔහු දුරස් වෙලා. කෙසේ හෝ ඒ හීනයේම රැඳී උන්නාම ආදරයේ සුන්දරත්වයත් රහත් විඳින්න ඇයට පුළුවන්.”

”මේ ගීතය මං පළමුවෙන්ම ලියා තිබුණේ යුග ගීතයක් ලෙසයි. ඒත් පසුව මම ඒකල (තනි) ගීතයක් ලෙස ගායනා කළා. මම පද රචනය කළ ගීත අතරින් මුලින්ම ජනපි‍්‍රය වූ ගීතයත් මෙයයි. සත්තකින්ම සැබෑ ආදරය ලබන්න නම් මාර කට්ටක් කන්න ඕනේ. (“මමත් මාර කට්ටක් කෑවනේ” යි හිනැහෙමින්...) ඉතින් එතෙක් මෙහෙම හීනයක සිතුවිලිවලින් ළංවී ඉන්න පෙම්වතුන්ට පුළුවන්නේ. එවැනි පෙම් සිත් ඇති ගීත රසික රසිකාවියන්ට මේ ගීතය සමීපයි කියා මට හිතෙනවා.”
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all