Photobucket

Monday, January 14, 2013

කලකට පසුව ශ්‍රී ලංකා පිලට ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2012 – 13 ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරමින් ඊයේ ඇඩිලේඩ් හි දී ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරාජය කළේය.

ශ්‍රී ලංකාව සාර්ථක වේග පන්දු ප්‍රහාරයකින් ඔස්ට්‍රේලියාව ලකුණු 170කට සීමා කිරීමෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් හා ලහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක අගනා සබඳතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 2ක් පමණක් අහිමි කර ගෙන ලකුණු 172ක් ලබා ගත්තේ තරගයේ තවත් පන්දු 59ක් ඉතිරිව තිබියදීය.

තරගයේ ජයග්‍රාහී ලකුණු ලබා ගනිමින් තමන්ගේ ප්‍රථම ජාත්‍යන්තර එක්දින ශතකය තිරිමාන්න ඊයේ නොදැවී ලබා ගත්තේ තරගයේ වීරයා ද වෙමිණි. පන්දු 134කට මුහුණ දෙමින් ඔහු වාර්තා කළ ලකුණු 102ක නොදැවුනු ඉනිම හතරේ පහර 12කින් ශක්තිමත්ව තිබිණි. 

තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවේ ඊයේ පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව ලැබූ මේ ජයග්‍රහණයත් සමග දෙපිල දැන් තරග 1 – 1 බැගින් සම තත්ත්වයට පිවිස සිටිති. මෙල්බර්න් හි පැවැති පළමු තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 107කින් ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග පළමු එක්දින තරගයේ මෙන්ම ඊයේ දෙවැනි තරගයේදීද පිතිකරණයේ අසාර්ථක විය. පළමු තරගයේදී එක් ලකුණකට දැවී ගිය ඔහු ඊයේ බින්දුව ට දැවී ගියේය. මේ දෙවතාවේදීම තරංග දැවී ගියේ කඩුලු රකින බ්‍රැඩ් හැඩින් වෙත උඩ පන්දු ලබා දෙමිණි. ඊයේ ඔහුගේ කඩුල්ල සිය තෙවැනි පන්දුවෙන් ලබා ගත්තේ ක්ලින්ට් මැකේ ය. 

18 වැනි ඕවරයේදී සැලකිය යුතු සිදුවීම් දෙකක් ප්‍රදර්ශනය විණි. දඟ පන්දු යවන සේවියර් ඩොහර්ටි ගේ එම ඕවරයේ තෙවැනි පන්දුවට ලහිරු තිරිමාන්න ගේ පිත්තෙන් නික්ම ආ උඩ පන්දුව රැක ගැනීමට ‘මිඩ් විකට්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ස්ටීව් ස්මිත් උත්සාහ කළද එය ව්‍යර්ථ විය. ඔහු ඉදිරියට පැන පන්දුව බිම ස්පර්ශ වීමට ඔන්න මෙන්න කියා තිබියදී පන්දුව යටට අත දැමුවද එය අල්ලා ගෙන සිටින්නට ඔහුට නොහැකි විය. ඒ වන විට තිරිමාන්න ලකුණු 35ක් ලබා ගෙන සිටියේය.

අනෙක් සිදුවීම වූයේ එම ඕවරයේ අවසන් පන්දුවේදීය. තිලකරත්න ඩිල්ෂාන් පහරක් එල්ල කරද්දී ඔහුගේ පිත්ත පැරදවූ පන්දුව පා ආවරණයේ ගැටුනේය. පිටියේ තරග විනිසුරු එය කඩුල්ල මුවා කිිරීමක් නොවන බවට දුන් තීරණයට එරෙහිව ඔස්ට්‍රේලියානුවෝ ‘රෙෆරල්’ ක්‍රමයට ගියද තෙවැනි විනිසුරුගේ තීරණය වූයේද එය දැවී යාමක් නොවන බවය. ඒ වන විට ඩිල්ෂාන් ලකුණු 25ක් රැස්කර ගෙන සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි පන්දුවටම මුළු ලකුණු බින්දුවේදී පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසුව ඩිල්ෂාන් හා තිරිමාන්න කල්පනාකාරීව පන්දුවට පහර දෙමින් ඉනිමට අත්තිවාරම දමන්නට වූහ. දෙදෙනාගෙන් පළමුව අර්ධ ශතකය වාර්තා කළේ හතරේ පහර හයක් එල්ල කර සිටි තිරිමාන්න ය.

ශ්‍රී ලංකා ඉනිමේ අඩක් අවසානයේ ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 93ක් රැස්කර ගෙන සිටියේය. ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ඉනිමේ මේ අවස්ථාව වන විට ලකුණු 83කට කඩුලු 6ක් අහිමි කර ගෙන සිටියේය.
ඩිල්ෂාන් හා තිරිමාන්න අතර විශිෂ්ට කඩුලු සබඳතාව අවසන් වූයේ ඕවර තිස්තුනකට පසුවය. මේ දෙදෙන දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක් එක් කරමින් සිටියදී බෙන් කටිං ගේ පන්දුවට ‘බැක්වර්ඩ් පොයින්ට්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ග්ලෙන් මැක්ස්වල් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ඩිල්ෂාන් දැවී ගිය අතර මෙය කටිං ගේ පළමු ජාත්‍යන්තර එක්දින කඩුල්ල විය. සාමාන්‍යයෙන් ආක්‍රමණශීලී පිතිකරුවකු වන ඩිල්ෂාන් ඊයේ මන්දගාමී ක්‍රීඩාවක නියැලෙමින් තමන්ගේ කාර්යභාරය සාර්ථකව ඉටු කළේය. ලකුණු 51ක ඩිල්ෂාන් ඉනිමේ හතරේ පහර සටහන්ව තිබුනේ හතරක් පමණි. මේ ලකුණු ප්‍රමාණය රැස් කිරීම සඳහා ඔහු පන්දු 88කට මුහුණ දුන්නේය.

ඩිල්ෂාන් දැවී යාමෙන් පසුව පිටියට පිවිසියේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් ලැබූ කුෂල් ජනිත් පෙරේරා ය. තිරිමාන්න, මැක්ස්වල් ගේ පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ මුද්‍රාව තබන විට කුෂල් හතරේ පහරක්ද එල්ල කර පන්දු 16කින් ලකුණු 14ක් ලබා ගෙන සිටියේය. ඔහු සහ තිරිමාන්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක නොබිඳි සබඳතාවක් වාර්තා කළහ.

ඊයේ උදේ ඇදහැළුනු වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර අහස වලාකුළෙන් වැසී තිබිණි. කාසියේ වාසිය දිනා ගත් මහේල ජයවර්ධන පළමුව පන්දු යැවීම සඳහා තම කණ්ඩායම යොදවනු ලැබීය.

නුවන් කුලසේකර යැවූ තරගයේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවෙන්ම ඔස්ට්‍රේලියානු කඩුල්ලක් ලබා ගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට අහිමි විය. ඒරන් ෆින්ච් ‘ස්කුවෙයාර් ලෙග්’ පෙදෙසට පහරක් එල්ල කර පැති මාරු කරන ලෙසට ෆිල් හියුස් ට කැඳවීමක් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් හියුස් දිව ආවේය. ඩිල්ෂාන් පන්දුව කඩුල්ල වෙත එල්ල කරන විට හියුස් සිටියේ යා යුතු සීමාවට බොහෝ ඈතිනි. ඔහුගේ වාසනාවට ඩිල්ෂාන් ගේ එල්ලය වැරදිනි.

තරගයේ සිවුවැනි ඕවරයේදී ඔස්ට්‍රේලියා පළමු කඩුල්ල බිඳ වැටිණි. ඇන්ජලෝ මැතිව්ස් ගේ පන්දුවට ෆින්ච් ‘එක්ස්ට්‍රා කවර්’ ස්ථානයට පන්දුව තල්ලු කළේ ජීවන් මෙන්ඩිස්ට පහසු උඩ පන්දුවක් ලබා දෙමිණි. ඒ අනුව මුළු ලකුණු 7 දී ෆින්ච් දැවී යන විට රැස්කර ගෙන සිටියේ ලකුණු 4ක් පමණි.

හයවැනි ඕවරයේදී මැතිව්ස් ගේ පන්දුවට ජෝර්ජ් බේලි එල්ල කළ පහරින් උඩින් පැමිණි පන්දුව පෙර ස්ථානයේම පන්දු රකිමින් සිට උඩ පැන අල්ලා ගැනීමට ජීවන් මෙන්ඩිස් උත්සිහ කළද පන්දුව ඔහුගේ දකුණතේ වැදී ගියේය. ඒ වන විට බේලි ලබා ගෙන සිටියේ ලකුණු 2ක් පමණි.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේ වීරයා වෙමින් ලකුණු 112ක් ලබා ගත් ෆිල් හියුස් ට ඊයේ ලබා ගත හැකිවූයේ ලකුණු 3ක් පමණි. කුලසේකරගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඔහු 7 වැනි ඕවරය අවසානයේ දැවී ගියේය. එම තීරණයට එරෙහිව ඔහු අභියෝග කළද තෙවැනි විනිසුරුගේ තීරණයද එයම විය. මේ අනුව මුළු ලකුණු 12 දී ඔස්ට්‍රේලියා දෙවැනි කඩුල්ල බිඳ වැටිණි.

ඊයේ තරගයේ මෙන්ම ඔස්ට්‍රේලියානු ඉනිමේද පළමු හතරේ පහර එල්ල වූයේ ඕවර 9 යි පන්දු 4කින් පසුව ය. බේලි එම පහර එල්ල කළේ මැතිව්ස්ගේ පන්දුවටය. පළමු හයේ පහර එල්ල වූයේද බේලිගේ පිත්තෙනි. 14 වැනි ඕවරයේදී එය එල්ල වූයේ තිසර පෙරේරා ට ය.

17 වැනි ඕවරයේ මුළු ලකුණු ප්‍රමාණය 51ක්ව තිබියදී තෙවැනි කඩුල්ල බිඳ වැටිණි. එවර දැවී ගියේ නායක බේලි ය. ලසිත් මාලිංගගේ පන්දුවට බේලි එල්ල කළ පහරින් ආ උඩ පන්දුව ‘මිඩ් විකට්’ හි පන්දු රකිමින් සිටි ලහිරු තිරිමාන්න උඩ පැන දක්ෂ ලෙස රැක ගත්තේය. පන්දු 46කට මුහුණ දුන් ජෝර්ජ් බේලි හතරේ පහර 2ක් හා හයේ පහරක් සමග ලකුණු 26ක් ලබා ගත්තේය. හැඩින් සහ සේවියර් ඩොහර්ටි (නොදැවී 5) අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 24ක් එක් කරමින් සිටියදී 47 වැනි ඕවරයේ අජන්ත මෙන්ඩිස් ගේ පස්වැනි පන්දුවට ‘ඩීප් මිඩ් විකට්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි තිරිමාන්න වෙත උඩ පන්දුවක් දෙමින් හැඩින් දැවී ගියේය. පන්දු 67කට මුහුණ දුන් හැඩින් ඔස්ට්‍රේලියානු පිලේ එක ම සාර්ථක පිතිකරුවා වෙමින් හතරේ පහර 4ක් හා හයේ පහරක් සමග ලකුණු 50ක් වාර්තා කළේය.

හැඩින් ගේ දැවී යාමත් සමග ඔස්ට්‍රේලියා ඉනිම ඕවර 46 යි පන්දු 5ක් ඇතුළත ලකුණු 170කට අවසන් විය.
මාලිංග ලකුණු 32කට කඩුලු 3ක් ලබා ගත් අතර මැතිව්ස් ලකුණු 24කට කඩුලු 2ක්ද, තිසර පෙරේරා ලකුණු 40කට කඩුලු 2ක්ද ලබා ගත්හ.

කඩුලු රකින පිතිකරු කුෂල් ජනිත් පෙරේරා ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රථම වතාවට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමට පිවිසියේය. ඔහුට මෙසේ මංගල එක්දින ක්‍රිකට් වරම් හිමිවූයේ මෙල්බර්න් හි පැවැති පළමු එක්දින තරගයේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් පාදයේ ආබාධයකට ලක්ව ඊයේ තරගයට සහභාගි නොවූ බැවිණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කේන් රිචර්ඩ්සන් හා බෙන් කටිං ඊයේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් ලැබූහ. මේ දෙදෙන, තුවාල ලබා සිටින වේග පන්දු යවන මිචල් ස්ටාක් හා මිචල් ජොන්සන් වෙනුවට කණ්ඩායමට ඇතුළත්ව සිටියහ. උස්මාන් කවාජා වෙනුවට ස්ටීව් ස්මිත් නම් කර තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all