Photobucket

Monday, January 14, 2013

එකම අංකයකින් සමන්විත පෙජරෝ හා ඩිෆෙන්ඩර් ජීප් රථ දෙකකින් පැමිණ වී මෝල් හිමි මරා දමයි

ආරක්‍ෂක හමුදා කඳවුරුවලට ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්‌ඩ සැපයීමේ කටයුතු සිදුකරන අනුරාධපුර නගරයේ පිහිටි සමාගමක දස දෙනකුට අධික කණ්‌ඩායමක්‌ එකම අංකයකින් සමන්විත පෙජරෝ හා ඩිෆෙන්ඩර් ජීප් රථ දෙකකින් පැමිණ  (12 දා) රාත්‍රි පදවිය බෝගහයාය රුවන්පුර ප්‍රදේශයේ නිවසකට කඩා වැදී සිදුකළ මැර ප්‍රහාරයකින් වී මෝල් හිමියකු මියගොස්‌ ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගියේ පදවිය බෝගහයාය රුවන්ගම ප්‍රදේශයේ පදිංචි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු හා සිව්දරු පියකු වූ සනී සේනාරත්න (42) නමැති අයෙකි.

පදවිය පොලිසිය පවසන අන්දමට සිද්ධිය මෙසේය.

ආරක්‍ෂක හමුදා කඳවුරුවල ආහාර ද්‍රව්‍ය හා භාණ්‌ඩ සැපයීමේ සමාගමට අයත් ලොරියක්‌ පදවිය හා අවට ප්‍රදේශවල පිහිටි හමුදා කඳවුරුවලට භාණ්‌ඩ හා ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා අනුරාධපුරයේ සිට පිටත් කර හැර තිබේ.

සමාගමේ ඇතැම් ලොරි රථ රියෑදුරන් හා සහායකයන් මේ ආහාර ද්‍රව්‍ය හා භාණ්‌ඩ අතරමගදී ඇතැම් පුද්ගලයන්ට අලෙවි කරන බවට සමාගමට දැනගැනීමට ලැබී ඇත.

ඒ අනුව සමාගමේ පරීක්‍ෂණ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ලොරි පරීක්‍ෂා කිරීමට පදවිය ප්‍රදේශයට ගොස්‌ සිටියදී මියගිය පුද්ගලයාගේ කුඩා වී මෝලක්‌ සහිත නිවස අසල සමාගමට අයත් ලොරිය නවතා ලොරි රථයේ රියෑදුරා වී කිලෝ දහයක්‌ මිලදී ගෙන තිබේ.

එම අවස්‌ථාවේ එකම අංකයකින් සමන්විත කළු පැහැති පෙජරෝ ජීප් රථයකින් හා සුදු පැහැති ඩිෆෙන්ඩර් ජීප් රථයකින් පැමිණි සමාගමේ පරීක්‍ෂණ නිලධාරීන් පිරිස ලොරියේ රියෑදුරු හා රිය සහායකයා ලොරියේ තිබූ හමුදා කඳවුරුවලට රැගෙන යන භාණ්‌ඩ වීමෝලට විකුණන්නට ඇතැයි සැක සිතා රියෑදුරුට හා රිය සහායකයාට පහර දී ප්‍රශ්න කොට ඇත.

එම අවස්‌ථාවේ වී මෝල් හිමියා "අහිංසකයන්ට පහර දෙන්නේ ඇයි? ලොරියේ රියෑදුරු හා රිය සහායකයා කළ වරද මොකක්‌දැයි ප්‍රශ්න කළ විට පරීක්‍ෂණ නිලධාරීන් පිරිස වීමෝල් හිමියාට පෙරලා පහර දී ඔවුන් පැමිණි ජීප්රථවල නැගී පලාගොස්‌ තිබේ.

තුවාල ලැබූ වී මෝල් හිමියා, ඔහුගේ බිරිඳ හා අසල්වාසීන් එක්‌ව පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්‌ ඇත.

මියගිය අයගේ බිරිඳ විසින් පදවිය පොලිසියට සිද්ධිය පිළිබඳව කළ පැමිණිල්ලකට අනුව පදවිය පොලිසිය මැර ප්‍රහාරය එල්ල කොට පලාගිය ජීප් රථ දෙක පිළිබඳ අවට පොලිස්‌ ස්‌ථානවලට දැනුම් දී තිබේ. (13 දා) උදේ යාපනය චුන්නාක්‌කම් පොලිසිය විසින් ජීප් රථ දෙක හා මැර කණ්‌ඩායමේ හත්දෙනකු යාපනය දෙසට පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. චුන්නාක්‌කම් පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඔවුන් පදවිය පොලිසිය වෙත භාරදීමට නියමිතය.

සැකකරුවන්ගෙන් පහරකෑමට ලක්‌ වූ ලොරි රියෑදුරු හා සහායකයාව ද පදවිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all