වියපත් ක්‍රීඩකයන් දැන්වත් අපට ඉඩ දී ඉවත්
වන්න. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී චන්දිමාල්ගේ ධෛර්යවන්ත ඉනිම
පැවසූයේ එයයි. මාස ගණනක් බංකුවේ හිඳුවා තබා ඔබ සුදුසු ප්‍රවීණයන්ට
වතුර ගෙන යාමට පමණක් යයි ක්‍රිකට් ලෝලීන්ගේ අනුකම්පාවට භාජනය වෙමින් කවදා
යළිත් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට ලැබේ දෝ කියා ඇඟිලි ගනිමින් සිට ලැබූ
පළමු අවස්ථාවේම ප්‍රවීණ යැයි කියා ගනිමින් කෙසේ හෝ කණ්ඩායම තුළ රැඳී සිටීමට
උත්සාහ ගන්නා ක්‍රීඩකයන් ලැජ්ජාවට පත් කරමින් ක්‍රීඩා කළ වටිනා ඉනිම
දැකීමෙන්වත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ දෙනෙත් විවරවේදැයි
බුද්ධිමත් ක්‍රීඩාලෝලීහු අවධානයෙන් බලා සිටිති.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය අවිනිශ්චිත බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. අවාසනාව බලධාරීන් මෙය වටහා නොගැනීමය. ඔවුන් එය වටහා ගත්තා නම් තරුණ ජවය අපතේ යාමට ඉඩ හරින්නේ නැත. දිනේෂ් චන්දිමාල් හට කාලයක් බංකුවේ වාඩි වී සිටින්නට සිදුවන්නේ නැත. තිලාන් සමරවීර දිගින් දිගටම කණා මුට්ටි ගසද්දී ඔහුව තරග සඳහා යොදා ගැනීම තේරීම් කමිටු නිලධාරීන්ගේ අදූරදර්ශී බව ලොවටම කියාපෑවේය. පළමු ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේ සමරවීර දැවී ගියවිට ප්‍රවීණ විස්තර විචාරකයන්ගේ මතය වූයේ ඔහුගේ ආත්ම විශ්වාසය බිඳී ගොස් ඇති බවයි. නමුත් ඕස්ට්‍රේලියාව බලා ගොස් සිටි තේරීම් කමිටු නිලධාරීන් දොන් අනුරසිරි එය නොදුටුවේය.
ශ්‍රී ලංකා පිල පළමු ටෙස්ට් තරගයේ සිටම පසු බැසීමට ලක්විය. තරගාවලිය ආරම්භයේ දීම මහේල ජයවර්ධන තමා නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පිළිබඳව විශ්වාසයක් නොමැති බව කියමින් තවත් අර්බුදයකට ද මැදිහත් විය. මෙයින් සිදුවූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ඇති වූ පීඩනයට වඩා තමන් විසින් තම කණ්ඩායම මත පීඩනය ඇති කර ගැනීමයි.
මීළඟ ටෙස්ට් නායකයා මැතිව්ස් බවට නොනිල වශයෙන් ස්ථීර විය. තේරීම් කමිටුව කිසිවක් ප්‍රකාශ නොකළේය. මැතිව්ස් මේ වන විටත් විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා බැවින් කිසිවෙකුට එය ප්‍රශ්නයක් වූයේ නැත. මැතිව්ස්ද තමා නායකත්වය බාර ගැනීමට සූදානම් බව මාධ්‍යයට ප්‍රකාශ කළේය. නමුත් තරගාවලිය තුළ පිතිකරුවෙක් ලෙස මැතිව්ස් අසාර්ථක විය. තරගාවලිය තුළ ඔහු ලබා ගත්තේ එක් අර්ධ ශතකයක් පමණි. මෙවන් අසීරු තරගාවලියක් ආරම්භයේ ඔහුව අනවශ්‍ය පීඩනයකට ඇද දැමීමේ ප්‍රතිඵලය එයයි.
ප්‍රසන්න ජයවර්ධන සහ කුමාර සංගක්කාර ආබාධයන්ට ලක් නොවන්නට දිනේෂ් චන්දිමාල් හට අවස්ථාව ලැබෙන්නේ නැත. ප්‍රසන්න ජයවර්ධන පමණක් ආබාධයට ලක් වූවා නම් සංගක්කාර කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරනු ඇත. කුමාර සංගක්කාර පමණක් ආබාධයට ලක්වූවානම් චන්දිමාල් පිතිකරුවෙක් ලෙස පමණක් තරගයට සහභාගි වනු ඇත. කෙසේ හෝ සුදුස්සාට සුදුසු තැන ලැබුණේය. චන්දිමාල් පිතිකරුවෙක් සහ කඩුලු රකින්නෙකු ලෙස කණ්ඩායමට එක්වීමට කොතරම් සුදුසුදැයි ඔප්පු කර පෙන්වීය. තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නවකයන් තිදෙනා වන දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න අතර ඉතාමත් ප්‍රබල ආත්ම විශ්වාසයක් පෙන්නුම් කළේ චන්දිමාල් බව නුවන් ප්‍රදීප් සමග එක්වී ඉනිම හැකිතාක් ඉදිරියට ඇදගෙන යාමට දැරූ උත්සාහය තුළින් පැහැදිලි විය.
ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නද, සංගක්කාරගේ ආබාධය හේතුවෙන් කණ්ඩායමට එක්වූ ලහිරු තිරිමාන්නද, දිනේෂ් චන්දිමාල් ද අවසන් ටෙස්ට් තරගයේ වැඩිම ලකුණුලාභීන් බවට පත්විය. මහේල, දිල්ෂාන් , සංගක්කාර සහ සමරවීර වැනි කණ්ඩායමේ සිටි සුපිරි පිතිකරුවන්ට වඩා හොඳින් මොවුන් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හට මුහුණ දුන්හ. නමුත් පොදුවේ ගත් කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ වේගවත් තණතිලිවලදී අපහසුවට පත්වේ. එයට හේතුව නම් ඔවුන් සැමදා තරග වදින්නේත්, පුහුණුවීම් කරන්නේත් පිතිකරුවන්ට උචිත තණකොළ රහිත තණ තිලිවල වීමයි.
මෙම තණතිලිවල පන්දු යැවීමේදී ශ්‍රී ලංකා මද වේග පන්දු යවන්නන් හට පන්දුවේ දෝලනයක් ලබාගත නොහැක. එමනිසා පිතිකරුවෝ පහසුවෙන් පන්දුවට පහර දෙති. නමුත් වේගවත් තණකොළ සහිත තණ තිල්ලකදී වේගයෙන් තමා වෙත පැමිණෙන පන්දුව තේරුම් ගැනීමට ඔවුනට අපහසුවේ. එමනිසා සිදුවිය යුත්තේ වේග පන්දු යවන්නන්ට උචිත වේගවත් තණතිලි නිර්මාණය කිරීමයි.
තණකොළ සහිත තණතිලිවල පන්දු යවා නුපුරුදු වේග පන්දු යවන්නන්ද ඕස්ට්‍රේලියාව වැනි රටවලදී අසරණ භාවයට පත්වෙති. මෙය ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය තුළ ඉතා පැහැදිලිව දක්නට ලැබුණි. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එල්ලයකට පන්දු යැවූහ. නමුත් එම එල්ලය තිබුණේ කඩුල්ලට ඉතා ඈතිනි. තෙවන ටෙස්ට් තරගය අතරතුර එංගලන්තයේ ස්කයි රූපවාහිනී සේවයේ තරග විස්තර විචාරයේ යෙදුණු එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක මාර්ක් බුවර් පවසා සිටියේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් හට තම පන්දු යැවීම පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවයි. එසේ ඔවුනට තමන් ගැන ආත්ම විශ්වාසය නැතිනම් නායකයාගේ වගකීම වන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට පන්දු යවන්නන් හැසිරවීමයි.
නමුත් ශ්‍රී ලංකා නායකයා තමන්ගේ සැලසුම් අනුව පන්දු යවන්නන් යොදවා ගත්තාද? එසේ වූවා නම් නුවන් ප්‍රදීප් බංකුවේ සිටින්නේ නැත. චානක වෙලගෙදර සහ නුවන් කුලසේකර ආබාධයට ලක්නොවන්නට ප්‍රදීප් හට තෙවන ටෙස්ට් තරගයේ දී ක්‍රීඩා කරන්නට අවස්ථාවක් නොලැබේ. එම තරගය තුළ ඔහුගෙන් සුපිරි දක්ෂතා දක්නට නොලැබුණත් අනිත් පන්දු යවන්නන්ට වඩා පාලනයකින් යුතුව පන්දු යැවීමට සමත්විය. තරගයකදී ප්‍රතිවාදියා වෙත පීඩනයක් ඇති කිරීමට නම් සියලු පන්දු යවන්නෝ හොඳින් එල්ලයට පන්දු යැවිය යුතුය. ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතාවයන් හොඳින් අධ්‍යයනය කර තිබුණි. එනිසා ඔවුන් අපහසුවකින් තොරව තරගාවලිය ජය ගත්තේය.
තෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ආරම්භ වීමට පෙර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඇන්ගස් ෆේර්සර් ස්කයි රූපවාහිනී සේවයට අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන් වෙත ලකුණු 150 ක පමණ ඉලක්කයක් ලබා දෙනු ඇති බවයි. 1994 වසරේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නි ක්‍රීඩාංගණයේ දී පැවති ටෙස්ට් තරගයේ දී ලකුණු 117 ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 111 කට සීමා කරමින් දකුණු අප්‍රිකාව ලබාගත් ලකුණු 5 ක ජයග්‍රහණය හා සසඳන විට ලකුණු 150 හොඳ ඉලක්කයක් බවට පවසමින් ඔහු කියා සිටියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ෆානි ඩිවිලියර්ස් වැනි සුපිරි පන්දු යවන්නන් සිටි බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින පන්දු යවන්නන් දෙස බැලීමේ දී කෙසේවත් ලකුණු 150 ක ඉලක්කය ප්‍රමාණවත් නොවන බවත්, නිසැක වශයෙන් තරගය සිව්වන දිනය නිමාවීමට පෙර අවසාන වන බවත් ඕස්ට්‍රේලියාව තරගාවලිය පූර්ණ ලෙස ජයගන්නා බවත්ය. එය එසේම සිදුවිය.
0 comments:
Post a Comment