Photobucket

Tuesday, January 15, 2013

අමරණීය මතකයක් යළිත් එක්කළ සංගා

ස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සහභාගි වූ ටෙස්ට් තරග තුනම පරාජය වීම නිසා ටෙස්ට් තරගාවලි පරාජයක අමිහිරි අත්දැකීම් අමතක කර තරග 3කින් සමන්විත පළමු එක්දින තරගයට මුහුණ දී සිටී.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ට ක්‍රීඩකයකු මෙන්ම නායකයකු වන මහේල ජයවර්ධන නායකයකු ලෙස සහභාගි වන අවසන් ටෙස්ට් තරගාවලිය නිසාවෙන් අඩුම තරමේ එක් තරගයක් හෝ ජයගැනීමට හෝ ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට වත් හැකි වූවා නම් එය යම් තරමක සැනසිල්ලක් වීමට ඉඩ තිබිණි.
එහෙත් පරාජය යනු පරාජයම බව ඔප්පු කරමින් 3 – 0 ලෙස ටෙස්ට් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට හිමි විය.

මෙම තරගාවලියේ දෙවැනි තරගයේ දී හිටපු ශ්‍රී ලංකා නායකයකු මෙන්ම ලොව සිටින දක්ෂතම පිතිකරු කුමාර් සංගක්කාර තුවාල ලබා පිටියෙන් ඉවත්වීම පිතිකරණ අංශයෙන් පන්දු රැකීමේ අංශයෙන් මෙන්ම මානසිකව ද අපේ කණ්ඩායමට වැදුණු මරු පහරක් ම විය. ඊට හේතුව සංගා යනු ලොව සිටින සුපිරිතම ක්‍රීඩකයා නිසාවෙනි.

2011 වසරේ සංගා සම්මාන 2 ක් දිනා ගත්තේය. ICC ODI Player of the Year – 2011 (2011 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා) සහ LG Peoples Choice Award – 2011 (2011 වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා) එම සම්මාන ද්වයයි.

පසුගිය වසරේ එනම් 2012 වසරේ ඔහු සම්මාන 5 ක් ලබා ගත්තේය. ඉන් දෙකක් විස්ඩන් සඟරාව මඟින් පිරිනැමූ Wisden Cricketer of the year – 2012 සහ Wisden leading Cricketer 2012 යන සම්මාන ද්වයයි.

ඉන්පසුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන ප්‍රදාන උලෙළේ දීICC Test Cricketer of the year – 2012, ICC Cricketer of the year – 2012  සහ  LG Peoples Choice Award - 2012  යන සම්මාන ත්‍රිත්වයම ලබා ගත්තේය.

සංගාට මෙම සම්මාන ලබාදීමේ දී 2011 අගෝස්තු මාසයේ සිට 2012 අගෝස්තු මාසය දක්වා ගතවුණු කාලයේදී ඔහු දැක්වූ සුපිරි දක්ෂතා සැලකිල්ලට ගෙන තිබිණි.

ඒ අනුව මාස 12ක කාලය තුළ ටෙස්ට් තරග 14කට මුහුණ දෙමින් ශතක 5 ක්, අර්ධ ශතක 5 ක් සමඟින් ලකුණු 1444 ක් ලබාගෙන තිබුණු අතර, එම කාල වකවානුව තුළදීම එක් දින තරග 37කට මුහුණ දී ශතක 3 ක්, උඩපන්දු 39 ක් සහ ස්ටම්ප් කිරීම් 3 ක් සමඟ ලකුණු 1457 ලබාගෙන තිබිණි.

මේ තරම් දක්ෂ සංගා පසුගිය වසරේ ජූනි මාසයේ පාකිස්ථාන් සංචාරයේ දක්ෂතා දැක්වූවාට පසු යම් පසුබෑමකට ලක්වී සිටියේය. පාකිස්ථානය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී තරග තුනම අති විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ සංගා 2012 ජූනි 22 ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 199ක් ලබා ගත්තේය. එසේම කොළඹ SSC පිටියේ 2012 ජූනි 30 දා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ද ලකුණු 192 ක් ලබා ගත්තේය.

මහනුවර පල්ලෙකැලේ පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියත් දෙවැනි ඉනිමේදී යළිත් සාර්ථක වෙමින් නොදැවී ලබාගත් ලකුණු ගණන 74කි.

ඉන්පසු නවසීලන්තය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ පැවැති ටෙස්ට් තරග දෙකේදී ඉනිම් හතරේදීම සංගා ලබාගත්තේ ලකුණු 21කි.
මේ වන විටත් පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී සංගාට ක්‍රීඩා කිරීමට හැකි වුණේ තරග 2ක් පමණි.
2012 දෙසැම්බර් 14 ඇරැඹුණු පළමු ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේ ලකුණු 4කට දැවී ගිය ඔහු දෙවැනි ඉනිමේ දී ලකුණු 63 ක් ලැබීය. දෙවැනි ටෙස්ට් තරගයේ දී මුල් ඉනිමේ ලකුණු 58 ක් ලබාගත් නමුත් දෙවැනි ඉනිමේදී ලකුණු 27 ක් ලබා සිටියදී මිචෙල් ජොන්සන් ගේ පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්වීම අවාසනාවන්ත සිදුවීමකි. ඔහුගේ වම් අතේ දබරඇඟිල්ල ආබාධයට ලක්වුණු අතර, සංගාට එම ඉනිම අතහැර දමා පිටියෙන් ඉවත්වීමට සිදුවුණු අතර (Retired hurt) එම තරගයත් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. ඒ ඉනිමක සහ ලකුණු 201ක දැවැන්ත පරාජයකි.

කෙසේ වෙතත් මෙම තරගයේ පළමු ඉනිමේදී සංගා ලබාගත් අර්ධ ශතකය සමඟ ඔහු ලකුණු (10,000) දස දහස පසු කළ ලොව 11 වැනි ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොතට එක්විය. ඒ සමඟම ඔහු ටෙස්ට් ලකුණු දසදහස පසු කළ ශ්‍රී ලාංකේය දෙවැනි ක්‍රීඩකයා ද වෙයි. 

මීට පෙර මේ දස්කම කර තිබුණේ මහේල ජයවර්ධනයි. ටෙස්ට් ලකුණු දසදහසේ සමාජයේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් ක්‍රීඩකයායි. ඔහු තරග 194 ඉනිම් 320, ලකුණු 15645යි. දෙවැන්නා රිකී පොන්ටින් තරග 168 ඉනිම් 287 ලකුණු 13378යි. රාහුල් ඩ්‍රාවිඩ් තරග 164 ඉනිම් 286 ලකුණු 13288යි. ජැක් කලිස් තරග 158, ඉනිම් 268 ලකුණු 12980යි. බ්‍රයන් ලාරා තරග 131 ඉනිම් 232
ලකුණු 11953යි. ඇලන් බෝඩර් තරග 156 ඉනිම් 256 ලකුණු 11174යි. ස්ටීව් වෝ තරග 168 ඉනිම් 260 ලකුණු 10927යි. එන්.චන්ද්‍රපෝල් තරග 146 ඉනිම් 249 ලකුණු 10696යි. මහේල ජයවර්ධන තරග 137 ඉනිම් 229 ලකුණු 10674යි. සුනිල් ගවස්කාර් තරග 125 ඉනිම් 214 ලකුණු 10122යි. කුමාර් සංගක්කාර තරග 115 ඉනිම් 195 ලකුණු 10018යි.

2012 දෙසැම්බර් 26 වැනිදා තරගයේ පළමු දිනයේ දී සංගා ලකුණු දස දහස පසු කිරීමත් සමඟම ලොව සියලුම ක්‍රීඩකයින් පරදවමින් ලොව වේගවත්ම ලකුණු දසදහස ලබාගත් ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොතට එක්වීම ද විශේෂත්වයකි. එහි පළමු තැන ලබාගත් තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකි. පළමුවැන්නා කුමාර් සංගක්කාර ඉනිම් 195, බ්‍රයන් ලාරා ඉනිම් 195 සහ සචින් ටෙන්ඩුල්කා ඉනිම් 195, ඉන්පසු රිකී පොන්ටින් ඉනිම් 196ක් ලෙස වාර්තා පොතේ සිව්වැනි ස්ථානයේ සිටිති.

කෙසේ වෙතත් මේ වන විට ටෙස්ට් තරග 115කට ක්‍රීඩා කරමින් ඉනිම් 196කදී ශතක 30ක් අර්ධ ශතක 41ක් සමඟ සංගා ලබා ඇති මුළු ටෙස්ට් ලකුණු ගණන 10045කි. එහි සාමාන්‍ය 55.80ක් වන අතර පහරදීමේ වේගය 53.84ක් තරම් ඉහළ අගයකි.
සනත් ජයසූරියගේ නායකත්වයෙන් යටතේ 2000 වසරේ ජූලි 20 – 23 දක්වා ගාල්ලේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදෙමින් ටෙස්ට් වරම් ලබාගත් සංගා කඩුලු රකින්නා ලෙසින් කණ්ඩායමට එක්වෙමින් අංක 5 ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසියේය. මිනිත්තු 81 ක් තුළ පන්දු 65කට මුහුණ දී 4 පහර 3ක් සමඟින් ලකුණු 23 ක් ලබාගත් අතර අර්ජුන රණතුංග, කුමා ධර්මසේන වැනි දැවැන්තයින් සමඟ ක්‍රීඩා කිරීමේ වාසනාවත්, එම තරගයේ ජයත් ලබා අමරණීය සිහිවටනයක් තබාගැනීමට සංගාට හැකිවිය.
ටෙස්ට් ලකුණු දස දහසේ සමාජයට එක් වුණු දා ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් හමුවේ සංගා මෙලෙස පවසා තිබුණා.

”ටෙස්ට් ලකුණු දස දහසේ සීමාව පසු කිරීම පිතිකරුවකුට සෙසු වාර්තාවලට වඩා වැඩිපුර සිහිපත් කළ හැකි වෙනස් ආකාරයක අමරණීය මතකයක්”.

ඒ අමරණීය මතකය සදා කල් රඳවා ගනිමින් ලොව ක්‍රිකට් වංශ කතාවේ ශ්‍රී ලංකා පුත්‍රයකු ලෙස තව තවත් වාර්තා තබන්නට, නව නායකයකු යටතේ තරග කරමින් ශ්‍රී ලංකාවට තව තවත් ජයග්‍රහණ ලබා දෙන්නට ‘මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මයා’ ඉක්මන් සුවය පතමු.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all