Photobucket

Thursday, January 3, 2013

මහේලගේ නායකත්වය යටතේ අවසන් ටෙස්ට් තරගය ඇරැඹේ

ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවක සම්පූර්ණ ජයග්‍රහණයකින් නව වසර ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔස්ට්‍රේලියාව අද සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තෙවැනි හා අවසාන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ට එරෙහිව වේග පන්දු යවන්නන් සිවු දෙනෙකු යොදවා ගැනීමට තීරණය කර තිබේ.

මෙල්බර්න් හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය සඳහා වූ ඔස්ට්‍රේලියානු වේග පන්දු බළඇණිය තිදෙනෙකුගෙන් සමන්විත විය. මිචල් ජොන්සන්, පීටර් සිඩ්ල් හා ජැක්සන් බර්ඩ්ගෙන් එම වේග පන්දු ප්‍රහාරය සමන්විතව තිබිණි. මීට අමතරව ඔස්ට්‍රේලියාව මිචල් ස්ටාක් යන වේග පන්දු යවන්නාද සිඩ්නි තරගයට කැඳවා තිබේ.

හොබාට් හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී වමතින් වේග පන්දු යවන ස්ටාක් ලකුණු 63කට කඩුලු 5ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාවට ජය මාවත විවර කර දුන්නේය. ඔස්ට්‍රේලියා ක්‍රිකට් මණ්ඩලයේ ‘වටමාරු’ ක්‍රමය යටතේ ස්ටාක් මෙල්බර්න් තරගය සඳහා විවේක ගන්වා තිබුණේ මතභේදාත්මක අයුරිණි.

ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලැබූ මෙල්බර්න් තණතීරුවට වඩා සිඩ්නි තණතීරුවේ තණකොල වවා තිබේ. මේ හේතුවෙන් එය වේග පන්දු යවන්නන්ට පාරාදීසයක් වීමට ඉඩ තිබෙන අතර පන්දුවේ ඉපිලීමක් ද බලාපොරොත්තු විය හැක.

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දෙන අවසාන තරගය මෙය වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.

කඩුලු රකින පිතිකරු ප්‍රසන්න ජයවර්ධන සහ වේග පන්දු යවන නුවන් කුලසේකර අද ඇරැඹෙන තරගයට නම් කර නැත. ප්‍රසන්න ඔහුගේ මාපටැඟිල්ලේ ආබාධයෙන්ද, කුලසේකර ඔහුගේ ඉළඇටයේ ආබාධයෙන්ද තවමත් සුවය ලබා නැත.

මේ හේතුවෙන් දිනේෂ් චන්දිමාල් සිඩ්නි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කඩුලු රකින්නා හා මැද පෙල පිතිකරුවෙකු ලෙසින් කණ්ඩායමට ඇතුළත්ව සිටී. ඇඟිල්ලේ ආබාධයකට ලක්ව මෙහි ප්‍රතිකාර ලබමින් සිටින කුමාර් සංගක්කාර වෙනුවට ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගනු ලැබූ ලහිරු තිරිමාන්න හෝ තරංග පරණවිතාන අංක 3 ස්ථානයේ පිතිකරණයේ නියැලෙනු ඇත. පරණවිතාන මේ සංචාරයේ මුල සිටම කණ්ඩායම සමග සිටින ක්‍රීඩකයෙකි.

ශමින්ද එරංග ද දැන් ශ්‍රී ලංකා ආබාධිත ක්‍රීඩක ලැයිස්තුවට එක්ව සිටින බැවින් මෙල්බර්න් තරගයේදී තුවාල ලැබූ චානක වෙලගෙදර වෙනුවට ශ්‍රී ලංකාවෙන් කැඳවනු ලැබූ වේග පන්දු යවන සුරංග ලක්මාල් අද තරග බිමට පිවිසීමට ඉඩ තිබේ.

එරංග ක්‍රීඩා කළත් නොකළත් වේග පන්දු යවන නුවන් ප්‍රදීප් සිඩ්නි තරගයට එක්වීමට ඉඩ තිබේ. ධම්මික ප්‍රසාද් වේග පන්දු යවන්නාද කණ්ඩායමට ඇතුළත්ව සිටී. පිට දඟ පන්දු යවන සුරාජ් රන්දිව් ද අද ඇරැඹෙන තරගය සඳහා කැඳවීමට ඉඩ තිබේ. ඒ, සම්ප්‍රදායිකව ඔස්ට්‍රේලියාවේ තිබෙන දඟ පන්දුවලට වඩාත්ම හිතකර තණතීරුව තිබෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගණයේ බැවිනි. කෙසේ වෙතත් දැන් ඒ තත්ත්වය වෙනස් කර තිබේ. ඔස්ට්‍රේලියානුවන් මේ තරගය සඳහා ඔවුන්ගේ වේග පන්දු යවන්නන් සිවු දෙනෙකුම කැඳවා ඇත්තේ තණතීරුව දැන් වෙනස් කර ඇති බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දහවල් දෙකේ පමණ සිට සෙන්ටිග්‍රේඩ් අංශක 22ක මඳ ශීත දේශගුණයක සිඩ්නි ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරත විය. කාලගුණ වාර්තා සඳහන් කරන පරිදි අද දිනයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 26ක් වනු ඇත. හොඳින් හිරු පායා තිබෙනු ඇත.

පුහුණුවීමට පෙර නායක මහේල ජයවර්ධන මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ කියා සිටියේ මෙල්බර්න් තරගයේ මිචල් ජොන්සන් ගේ සාර්ථක වේග පන්දු ප්‍රහාරයෙන් පසුව ඔස්ට්‍රේලියානුවෝ ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා පිතිකරුවන් සඳහා වෙන වෙනම සැලසුම් සකස් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව ප්‍රකාශ කළේය. “අපට ඔස්ට්‍රේලියානුවන් පන්දු එවන විදිය නවත්තන්න බැහැ. කළ හැක්කේ ඊට එරෙහිව මුහුණ දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන එකයි” මහේල කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් පාලනය කරන්නේ ඔවුන්ගේ පිතිහරඹයෙන් බවත් දැනට කණ්ඩායම වෙතින් ගිලිහී තිබෙන ඒ පාලනය යළි ලබා ගත යුතුව ඇති බවත් මහේල පැවසීය.

දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ගේ දුවද්දී දැවී යාම පිළිබඳවද අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා, “ඔහු ඉක්මනටම ඉගෙන ගනීවි. ටෙස්ට් තරගයකදී එවැනි දැවී යාමකට ලක් නොවිය යුතු බව ඔහු තේරුම් ගනීවි. ඔහුට හොඳ ශක්තියක් තියෙනවා. දිමුත්ට තවත් අවස්ථා ලබා දිය යුතුයි. මාවන් අතපත්තු (ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පුහුණුකරු) පටන් ගත්තේත් බින්දුවලිනුයි. පසුව එයා එයින් මිදී දස්කම්වල උපරිමයටම ආවා.”

ගෙවුණු වසරේදී ශ්‍රී ලංකාව හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කළ බවත් එහෙත් එහි ස්ථිරභාවයක් නොතිබූ බවත් කී මහේල මෙල්බර්න් තරගයෙන් පසුව කණ්ඩායම විශේෂයෙන් සාකච්ජා කලේ එම කාරණය පිළිබඳව බවත් ප්‍රකාශ කළේය.

“සිඩ්නිවලදී අපි හොඳින් පුහුණු වුණා. ක්‍රීඩකයන් සමග අපි මෙල්බර්න් තරගය ගැන කතා කළා. අපි අපි ගැන විශ්වාසයක් ගොඩනගා ගෙන තියෙනවා. අපට අපේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. අවසන් දිනය තෙක් තරගයේ ප්‍රබලව ඉන්න සැලසුම් සකස් කර තියෙනවා. මෙල්බර්න්වල සිදුවුනු දේ යළි සිදු වෙන්න ඉඩ නොතබන්නත් අපේ උපරිම ශක්තියෙන් ක්‍රීඩා කිරීමටත් අපි අවධාරණය කරගෙන සිටිනවා.”

සිඩ්නි තරගයෙන් පසුව ටෙස්ට් තරග පිටියෙන් ඉවත් වන ඔස්ට්‍රේලියා පිතිකරු මයික් හසී පිළිබඳවද මහේල මෙහිදී ඔහුගේ අදහස් දක්වා සිටියේය. “ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් මයික්ව අගය කරාවි. ඔහු දැඩි තරගකරුවෙක්. ඔහු ඔස්ට්‍රේලියාවට හොඳින් සේවය කර තිබෙනවා. මයික් නැති පාඩුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දැනේවි. මේව සිදුවන්නේ මෙහෙම තමයි. ක්‍රීඩකයන් එනවා..යනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව දිගටම කෙරීගන යනවා.”
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all