Photobucket

Sunday, January 13, 2013

‍පොළොවට ආ පළමු පියාඹන පීරිසිය

කෙනත් ආනෝල්ඩ් නම් ඇමෙරිකානු ජාතිකයා නම් දැරූ දක්ෂ ගුවන්  නියමුවෙකි. ඔහු වොෂින්ටනයේ පිහිටි “කැස්කේට්” නම් උස් කඳු ප්‍රදේශය හරහා නිතර නිතර තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කළේය. ක්‍රිස්තු වර්ෂ 1947 ජුනි මස 24 වන දින සවස දෙකට පමණ ඔහු කැස්කේට් කඳු ප්‍රදේශය බලා තම ගුවන් යානය පැදවූයේ අතුරුදන් වූ ගුවන් යානයක් සෙවීමේ බලා‍පොරොත්තුවෙනි.

වොෂින්ටනයේ “චෙලනීස්” ගුවන් තොටු‍පොළින්  ගමන් අරඹා පුරා පැයක් ඉක්ම යන්නට මත්තෙන් කැස්කේට් කඳු ප්‍රදේශයට  පැමිණීමට  ඔහුට  හැකි විය. යකීමා නගරයට තරමක්  ආසන්නයේම පිහිටා ඇති  මෙම කඳු ප්‍රදේශය  අතිශය සුන්දර දසුනකි. වලාකුළුවලින් තොර පැහැදිලි  කාලගුණයක් එදින තිබූ හෙයින් එකී සුන්දරත්වයේ උපරිමය විඳ ගැනීමට ආනෝල්ඩ්ට හැකි විය. ගුවන් යානයෙහි වූ කවුළු තුළින් හිමෙන් වැසී ගිය කැස්කේට් කඳු වැටියේ සුන්දරත්වය නරඹමින් ඉදිරියට ගිය ඔහු කඳු වැටියට ආසන්නවත්ම දුටු දෙයින් විශ්මයට පත්විය.

මීට පෙර කිසි දිනෙක දුටු අමුතුම ආකාරයේ යානා රාශියක් තමා දෙසට ඇදී එනු ඔහු දුටුවේය. දෑස් නිලංකාර වී යන තරමට දීප්තිමත් වූ ආලෝක දහරා නිකුත් කළ මෙම යානාවලින් කිසිදු දුමාරයක් හෝ ශබ්දයක් පිට නොවීය. පැයට සැතපුම්  දසදහසකට වඩා වැඩි වේගයෙන් ගමන් කළ මේවා දකුණ දෙස සිට ඊශාන දෙසට විහිදුනු  කඳු වැටිය අයිනෙන් පාවී ගියේය.  තම ගුවන් යානයේ සිට අඩි 2500ත් 10,000ත් අතර සාපේක්ෂ  දුරකින් පිහිටා තිබූ මෙවැනි යානාවක් මීට පෙර කිසිදු දිනෙක ආනෝල්ඩ් විසින් දැක නොතිබූ අතර එතරම් වේගයෙන්  ගමන් කිරීමට  හැකි යානාවක් තැනීමට  තරම් එකල තිබූ තාක්ෂණය ප්‍රබල නොවීය.

දුටු අත්භූත දර්ශනයෙන් පුදුමයටත් භීතියටත් පත් ආනෝල්ඩ් තමා පැමිණි  කාර්යයද අමතක කර දමා නැවතත් ගුවන් තොටු‍පොළට පැමිණ ඒ පිළිබඳව විස්තරය එක්සත් ජනපද ගුවන් හමුදාව වෙත සැල කළේය. “මම මීට කලින් කිසිම දවසක ඒ වගේ ගුවන් යානා දැකලා නෑ. ඇත්තටම ඒවා ගමන් කළේ ජලය මත ලිස්සා  යන පීරිසියක් වගේ. ත්‍රිකෝණාකාරව ඉතා වේගයෙන් ගමන් කළා. දුමක් වත්, ශබ්දයක් වත් පිට වුණේ නෑ. වරින් වර පිහිටීම වෙනස් කරමින් ගමන්  කළ යානා නවයක් විතර එතන  තිබුණා. ඒවා හිරු එළිය වැටීම නිසා කැඩපතක් මෙන් දිලිසුණා. යානයේ පහළ කොටසින් නිකුත් කළ දීප්තිමත් ආලෝකයෙන් මගේ දෑස් නිලංකාර වී ගියා.” ආනෝල්ඩ් විසින් ගුවන් හමුදාව වෙත කළ පැමිණිල්‍ලේ එසේ සඳහන් විය. ඔහුගේ  මෙම ප්‍රකාශ පසු දින පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය ලෙස පළ විය. පාඨකයා පුදුමයටත්, භීතියටත් පත්වන අයුරින් සකස් කර තිබූ මෙම පුවත්පත් වාර්තා මගින් ආනෝල්ඩ්   දුටු පියාසරන වස්තු  “පියාඹන පීරිසි” ලෙසින් කරලියට රැගෙන ආවේය. එහෙත් ඔහු තමා  දුටු ආශ්චර්යමත් සිද්ධිය පිළිබඳව  තොරතුරු  පැවැසූ විට සමහර ජනමාධ්‍යයන් එය විශ්වාස කළ නොහැක්කක් සේ සලකා අතහැර දැමුවද, එකල ඇමෙරිකාවේ පැවති “ඔනිටඩ් පේ‍රස් ඉන්ටර්නැෂනල් සහ ෆේට්” නැමති ජනප්‍රිය සඟරා මගින් මෙකී සිද්ධිය අපූරුවට විග්‍රහ කර තිබුණි. එයින් සිදු වූයේ එකී සඟරාවල අලෙවිය කෝටි ගණනින් ඉහළ යාමය. ඉන් පසුව විටින් විට අහසේ දර්ශනය වන අත්භූත වස්තූන් සඳහා “පියාඹන පීරිසි” යන නිර්වචනය භාවිත විය. ඒවා  පිළිබඳව තොරතුරු පළ වී ඇති වාර්තා කියවීමට මිනිසුන් තුළ කුතුහලයක් ඇති වූයේ ඉන් අනතුරුවය. මේ නිසා කලක් ගත වත්ම කෙනත් ආනෝල්ඩ්ට විවිධ ගුවන් විදුලි නාලිකාවලින් සම්මුඛ සාකච්ඡා සඳහා ආරාධනා ලැබුනු අතර පසුව ඔහු තමා දුටු සිද්ධිය පිළිබඳව තොරතුරු  ඇතුළත් කර  “The Coming of the saucers” නමින්  ග්‍රන්ථයක් එළි දැක්වීය.

කෙනත් ආනෝල්ඩ් විසින් සුන්දර සන්ධ්‍යාවේදී දුටු ඒ ආශ්චර්යමත් සිද්ධියත් සමගම එවැනි තවත් දර්ශන කිහිපයක්ම දුටු බවට තොරතුරු විවිධ ප්‍රදේශවලින් වාර්තා වන්නට විය. ඒ සමගින්  ඇමෙරිකානු ගුවන් හමුදාවේ මෙන්ම සාමාන්‍ය  ජනයාගේද අවධානය  ඒ දෙසට යොමු විය. ඒ අනුව ඔවුන් මෙම යානා පිළිබඳව  සොයා බැලීමට යුහුසුලු  විය. එකල ඇමෙරිකානු  ඔහායෝ විශ්ව විද්‍යාලයේ තාරකා  භෞතික  විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු වූ ජේ. ඇලන්  හයිනෙක් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ “පීරිසි” ව්‍යාපෘතිය මගින් ආනෝල්ඩ් දුටු අබිරහස් යානා  පිළිබඳව විද්‍යාත්මක  ගවේශනයන් සිදු කරන ලදී. එහෙත් ඒවා මොනවාදැයි යන්න හරියාකාරව දැන ගැනීමට ඒ කිසිවෙකුටත් නොහැකි විය.

පියාඹන පීරිසියක් දුටු ප්‍රථම අවස්ථාව ලෙස ආනෝල්ඩ්ගේ සිදුවීම සැලකුවද, ඊට පෙරද කිහිප වතාවක්ම එවැනි සිද්ධීන් වාර්තා වී තිබේ. එහෙත් ඒවා ආනෝල්ඩ්ගේ සිදුවීම තරම් ප්‍රසිද්ධ නොවූ හෙයින් කිසිවෙකුත් ඒ පිළිබඳව  අවධානය යොමු නොකළේය. මේ අතරින් පළමු සිද්ධිය වාර්තා වන්නේ ආනෝල්ඩ්  පියාඹන  පීරිසි දැකීමෙන් දින දහයකට පෙරය. නමින් රිචඩ් රැන්කින් වන ඔහු වෘත්තියෙන් ගුවන් නියමුවෙකි. 1947 ජුනි මස 14 වන දින පෙරවරුවේ   තම පෞද්ගලික  අවශ්‍යතාවයක් සඳහා චිකාගෝ නගරයේ සිට ලොස් ඇන්ජලීස් දක්වා ගුවනින් ගමන් කිරීමට ඔහුට සිදුවිය. ගමනේ හරි අඩක් පමණ ගෙවා දමන අවස්ථාවේ අමුතුම ආකාරයේ අත්දැකීමකට ඔහු මුහුණ දී තිබේ. තමා කිසි දිනෙක නොදුටු විරූ ගුවන් යානා රාශියක්   වාතයේ පාවෙනු දුටුවේය.  එකිනෙක අතර සමාන දුර පරතරයක් පවත්වා ගනිමින් ත්‍රිකෝණාකාරව ගමන් කළ මේවා පැයට සැතපුම්  560 ක පමණ වේගයෙන් ගමන් කර ඇත. රැන්කින්ගේ ගණනය  කිරීම්වලට අනුව එහි එක් යානයක විශ්කම්භය අඟල් 35ක් පමණ විය.

මෙය පෘථිවි වැසියෙකු විසින් දුටු ප්‍රථම පියාඹන පීරිසිය  ලෙස සැලකුණද, රැන්කින්ගේ නිහඬතාවය එකී සිද්ධියෙහි ජනප්‍රියතාවය  අඩු වීමට හේතු විය. එහෙත් එය කුමන අයුරකින්  හෝ ජනතාව අතරට පැමිණියේ නම් එදා ආනෝල්ඩ් විසින් පියාඹන පීරිසි වෙත භාවිත කළ නාමය කෙලෙසකවත් භාවිතයට නොඑන්නට ඉඩ තිබුණි.

කෙනත් ආනෝල්ඩ් පියාඹන පීරිසි දැකීමට දින තුනකට පෙර බෝට්ටු නියමුවකු වන හැරල්ඩ් ඩැල් මහතා සහ ඔහුගේ  පිරිස විසින් මෙවැනිම තවත් දර්ශනයක් දැක තිබේ. ඔවුන්ගේ  සාක්ෂිවලට අනුව සිද්ධිය මෙසේය. 1947 ජුනි 21 වන දින කුඩා බෝට්ටුවක ගමන් කරමින් සිටියදී මීට පෙර දැක නොතිබූ අමුතුම ආකාරයේ යානා රාශියක් ඉහළ අහසේ සැරිසරනු දැක තිබේ.  හරියටම උළුඳු වඩයක හැඩය ගත් මේවා බෝට්ටුවේ සිට අඩි 2000 ක් පමණ ඉහළින්  ගමන් කළ අතර පැහැදිලිව හඳුනා ගත හැකි යානා හයක් එහි විය. එහෙත් ඔවුන් මේ පිළිබඳව  වැඩි සැලකිල්ලක් නොදැක්වීය. ඒ ඒවා කාලගුණ බැලූන් විශේෂයක් බව තීරණය කළ හෙයිනි. නමුත් නිමේෂයකින් සිදු වූයේ ඔවුන් විශ්මයට පත් කරන්නකි. බෝට්ටුවේ සිට  අඩි තුන්සියයක් පමණ ඈතින්  පිහිටා තිබූ යානා අතරින් එක් යානයක් කිසියම්  දෝෂයකට ලක්විය. ඒ ක්ෂණයෙන්ම  අන් සියලුම යානා ඒ වටා පිහිටියේ  හරියටම වළල්ලක් ආකාරයෙනි.  සුළු වේලාවක් ඒ අයුරින්ම ස්ථානගත වී තිබූ එක වරම විශාල හඬක් නගමින් සාගරය මතට පතිත වී තිබේ.

දෑස් අදහාගත නොහැකි මෙම දර්ශනයෙන් පුදුමයටත් භීතියටත් පත් හැරල්ඩ් ඇතුළු පිරිස හැකි උපරිම වේගයෙන් බෝට්ටුව වෙරළ දෙසට පැදවීය. එහෙත් ඔවුනට ගමන් කළ හැකි වූයේ යාරයකටත් වඩා අඩු ප්‍රමාණයකි. දෝසයට ලක් වූයේ  යැයි සැක කළ  යානය එක් වරම ඇළුමිනියම් වැනි වාෂ්පයක් නිකුත් කළේය.  ඒවා ඇඟ වැටීම නිසා හැරල්ඩ්  මහතාගේ පුත්‍රයාගේ  අත පිළිස්සී ගියේය. එමෙන්ම ඔවුන්ගේ  සුරතල්  බලු පැටවාද මිය ගියේය.  මින් තව තවත්  භීතියට පත් ඔවුන් බෝට්ටුවේ තිබූ රේඩියෝව මගින් පණිවුඩයක් ලබා දීමට  උත්සාහ දැරුවද, රේඩියෝ  පද්ධතිය ක්‍රියා විරහිත  වී තිබූ බැවින් එය අසාර්ථක විය. මේ නිසා හැකි උපරිම  වේගයෙන් බෝට්ටුව වෙරළ දෙසට පැදවීමට ඔවුහු කටයුතු කළහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all