Photobucket

Sunday, January 13, 2013

අගවිනිසුරු ඉවතට!

ජනපති තීන්දුව ලබන සතියේ

දෝෂාභියෝග යෝජනාවේ සඳහන් චෝදනා තුනකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය වරදකරු බවට පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වීම නිසා ලබන අඟහරුවාදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඇය එම ධුරයෙන් ඉවත් කිරීමේ ප්‍රකාශය කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉන්පසු නව අගවිනිසුරුවරයකු පත් කෙරෙන තුරු එම ධුරයේ වැඩ බැලීම සඳහා වැඩබලන අගවිනිසුරුවරයකු පත්කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නව අගවිනිසුරු ධුරය සඳහා මේ වන විට හිටපු නීතිපති මොහාන් පීරිස්‌ මහතාගේ නම් යෝජනා වී තිබේ. කෙසේ වෙතත් මීළඟ අගවිනිසුරුවරයාගේ නම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු කවුන්සිලය වෙත ඉදිරිපත් කෙරෙන අතර පාර්ලිමේන්තු කවුන්සිලය රැස්‌ව එය නිර්දේශ කර ජනාධිපතිවරයාට යළි ඉදිරිපත් කෙරෙනු ඇත.

ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය දෝෂාභියෝග යෝජනාවේ සඳහන් චෝදනා තුනකට වරදකරු බව සඳහන් පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව පසුගිය බ්‍රහස්‌පතින්දා සහ සිකුරාදා විවාදයට ගැනිණි. විවාදය අවසානයේ පැවැත්වූ ඡන්ද විමසීමේදී අදාළ වාර්තාව තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ අතර එදින රාත්‍රියේම කථානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමේ ප්‍රකාශය ඉදිරිපත් කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය නම් ජනාධිපතිවරයාට හදිසි පාර්ලිමේන්තු රැස්‌වීමක්‌ කැඳවා මැති සබය අමතමින් සිය තීරණය දැනුම් දීමට අවස්‌ථාව ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේය.

එය අනිවාර්ය අංගයක්‌ නොවන බව ද අගවිනිසුරු ධුරයෙන් ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඉවත් කිරීම ජනාධිපතිවරයාට ඕනෑම අවස්‌ථාවක සිදුකළ හැකි බව ද හෙතෙම කීය.

කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට පසුගිය සිකුරාදා රාත්‍රියේ පාර්ලිමේන්තු අනුමැතිය දැනුම් දීමත්, ඉන්පසු සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන් වීම සහ සඳුදා තෛපොංගල් නිවාඩුව යෙදීමත් නිසා ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමේ ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් අඟහරුවාදා සිදුකිරීමට ඉඩ ඇතැයි ද ඉහත ප්‍රකාශකයා පැවසුවේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all