“මගේ මැණිකේ නැතිව ජීවත්වෙලා වැඩක් නෑ”
නදිශානි මධුභාෂිනි පවුලේ වැඩිමහල් දරුවාය. බිබිල නන්නපුරාව ප්‍රදේශයේ ඉපිද හැදී
වැඩුණු ඇයට සිටියේ බාල සොහොයුරෙක් හා සොහොයුරියකි. නන්නපුරාව විදුහලින් ප්‍රාථමික
අධ්‍යාපනය ලැබු ඇය ධර්මප්‍රදීප විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූවාය. සරසවි වරම් ලැබුව
ද ඇගේ උසස් අධ්‍යාපන බලාපොරොත්තු සියල්ල සිහිනයක් වූයේ පියාගේ හදිසි වියොව නිසාය.
පියාගේ වියෝවත් සමඟ ගෙදර බර කරට ගන්නට සිදුවූයේ ලොකු දියණිය නදිශානිටය. මව මෙන්ම
අහල පහල කොයි කවුරුත් ඇයට ආදරයට කතා කළේ ‘නදී’ කියාය.
“මොකක්හරි රස්සාවකට යන්න ඕනැ අම්මේ...”
ඇය නිතරම සිය මවට කීවාය. ඒ අම්මා විඳින දුක තවත් බලා සිටිය නොහැකි තැනය. ඊට හේතුව
වූයේ පවුලේ අගහිඟ එන්න එන්නම උත්සන්න වීමය. ගෙදර කවුරුන් හෝ රැකියාවකට ගියහොත් ඊට
කිසියම් හෝ සහනයක් ලැබෙතියි ඇය සිතූ වාර අනන්තය. මල්ලිත් නංගිත් තවමත් බාල වියේය. ඒ
නිසා ඒ අයට දැන්මම රස්සාවකට යන්නට හැකියාවක් නැත. එහෙත් හොඳින් ඉගැන්විය යුතුය.
තමනට අහිමි වූ සරසවි සිහිනය ඔවුනට සැබෑවක් කර දිය යුතුය. ඒ සියලු දේ සඳහා ආර්ථික
අතින් යහපත් විය යුතු යැයි සිතු නදිශානි අවසානයේ තීරණයක් ගත්තාය. එතැන් පටන් ඇය
රැකියාවක් අපේක්ෂාවෙන් ඉල්ලුම් පත් යොමු කළාය.
පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ඒ දිනවල පැවැත්වෙමින්
තිබිණ. ඒ සඳහා ඉල්ලුම්පතක් යොමුකළ නදිශානිට අවසානයේ ඊට ඉඩ ප්‍රස්ථාව ලැබුණි.
නදිශානි පොලිස් කොස්තාපල්වරියක් ලෙස තෝරාගනු ලැබීය.
පොලිස් සේවාවට බැඳීමට ඇය දක්වන ලැදියාව ගැන අම්මා එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.
ඒත් මාමලා ලවා අම්මාගේ සිත සැනසු නදිශානි 2008 වසරේ දී ශ්‍රී ලංකා පොලීසියට
එක්වූවාය. ඒ කාන්තා පොලිස් කොස්තාපල්වරියක ලෙසිනි. කුඩා කල සිටම ක්‍රීඩාවට දක්ෂකම්
පෑ ඇයට අලුත් රැකියාව ලබාගන්නට ඇගේ ක්‍රීඩා දස්කම් ද ඉවහල් වී තිබිණ.
රැකියාවට ගොස් ලබාගත් මුල්ම වැටුප ඇය අම්මා අතට ගෙනැවිත් දුන්නාය. ඇය තමා ලබන
වැටුපෙන් අම්මාගේත් නංගි හා මල්ලිගේත් අවශ්‍යතා ඉටු කළාය. එපමණක් නොව පුංචි ගෙයක්
හදන්නට අත්තිවාරම් ද දැමුවාය.
වසර දෙකක් ගෙවී ගියේ එලෙසය. නදිශානිට නිලන්ත හමුවන්නේ සිය මුල්ම පත්වීම ලැබූ ගමේ
පොලීසියේ රාජකාරි කරන අතරතුරය. ඔහු ද පොලිස් කොස්තාපල්වරයෙකි. දෙදෙනා දැන හඳුනා
ගන්නේ ඉන් අනතුරුවය. දැන හැඳුනුම්කම් පේ‍්‍රමයකට පෙරළෙන්නේ ඉන් පසුවය. ඔවුන්ගේ ආදරය
නිදහසේ දළුලා වැඩිණි. සබඳතාව වසර තුනක් පමණ ගතවී යද්දී ඒ ගැන නදිශානිගේ අම්මාට ද
දැනගන්නට ලැබිණි.
“ඇත්තද ළමයො මේ කියන්නෙ”
නදිශානි අම්මාට බොරුවක් කීවේ නැත. නිලන්ත ගැන ඇත්ත කතාන්දරයම ඇය මවට කීවාය.
“එහෙනම් දිනයක් දාගෙන ගෙවල් දොරවල් බලල එමු.”
අම්මාගේ යෝජනාව ඇය සිය පෙම්වතාට කීවාය. ඇය නිලන්තට ආදරයට කියන්නේ “අප්පච්චි” කියාය.
නිලන්ත ඇයට “මගෙ මැණිකේ” කියා අමතන්නේය. ඒ තරම්ම මේ පේ‍්‍රම වෘතාන්තය ප්‍රබල විය.
“කසාද බඳින්න කලින් ඕවා බලලා ඉන්න එකත් හොඳයි” ඒ අනුව නදිශානිගේ මව ඥාතින් සමඟ
නිලන්තගේ ගෙවල් දොරවල් බලන්නට ගියාය. එතනින් නොනැවතුණු ඇගේ මව දෙදෙනාගේ කේන්දර
ගැළපේදැයි සොයා බැලුවාය. එයින් හෙළි වූයේ කේන්දර නොගැළපෙන බවකි.
“අපිට ඔය මිනිස්සු ගැළපෙන්නෙ නැහැ පුතේ. ඔයා කල්පනා කරලා තීරණයක් ගන්න. කේන්දරත්
එච්චර හොඳ මදි.”
අම්මා කියූ දේ නදිශානිගේ සිත දැඩිව වෙලා ගත්තාය. එහෙත් මේ කිසිවක් නිලන්ත දැන
සිටියේ නැත. ඔහු දහසකුත් පැතුම් සිතේ පුරවාගෙන “මගේ මැණිකේ” සමඟ විවාහ වීමට ඇඟිලි
ගැන්නේය.
“මගේ මැණිකෙ මගේ ළඟට ගන්න මම පෙරුම් පුරනවා...”
ඔහු වරක් ඇගේ උපන් දිනය දා සුබ පැතුම් පතක් යවමින් එහි සටහන් කළාය.
“මගේ ජීවිතේ ඔයා විතරයි. මගේ මැණිකා මටමයි” ඒ තරම්ම නිලන්ත ඇයට ආදරය කළේය. ඔහු
එතැනින් නැවතුණේ නැත. ඒ වන විට තමා ආධුනික කොස්තාපල්වරයකු බැවින් පොලීසියේ සාමාන්‍ය
නීතිය අනුව ඔහුට විවාහ වීමට අවසර ගත යුතුය. නදිශානි විවාහ කර ගැනීම සඳහා දිසා බාර
නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිපියක් ඉදිරිපත් කොට ඊට අවසර ද ගත්තේය.
නිලන්තගේ ලෝකයේ නදිශානි හැරෙන්නට වෙන කිසිදු අයකුට ඉඩ තිබුණේ නැත. ඔහු “මගේ
මැණිකේ”ට පණ මෙන් ආදරය කළේය. ඇගේ බොහොමයක් අවශ්‍යතා ඉටුකර දුන්නේ ද ඔහුය. අප්පච්චි
මැණිකේ වෙනුවෙන් බොහෝ දේ කැප කළේය.
කාලය මෙසේ ගෙවී ගියේය. වසර තුනකට ආසන්න කාලයක් තම පෙම්වතා සමඟ පණට පණ මෙන් ආදරය කළ
නදිශානිගේ සිත කෙමෙන් වෙනස් වන්නට පටන්ගත්තේ ඔය අතරය. ඒ අම්මාගේ කීම නදිශානිගේ සිතට
බොහෝ වද දුන් නිසාය. ඒ ඇය අම්මාගේ අදහසට හැම විටම ගරු කළ නිසාය.
නදිශානිගේ හදිසි වෙනස්වීම නිලන්තගේ සිතට ගෙන ආවේ සැකයකි. එය තවත් උග්‍ර වූයේ හදිසි
මාරුවකින් ඈතක සිට නදිශානි කොළඹට පැමිණීමත් සමඟය.
පොලිස් මූලස්ථානයේ රාජකාරියට එක්වූ නදිශානි ඊට අමතරව බම්බලපිටිය ක්‍රීඩා ඒකකයට
ඇතුළත්ව ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කළේය. මිතුරියන් කිහිප දෙනෙකු ඇසුරු කළත් ඇය
ඔවුන් හා වැඩි කතාබහට නොගියාය.
මේ වන විට නිලන්ත මොනරාගල මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කළේය. නදිශානි
කොළඹය. දිනපතා නදිශානි දැක බලා ගැනීමට නොහැකි තැන නිලන්ත නිතර දෙවෙලේ දුරකථනයෙන්
නදිශානි ඇමතුවේය. ඒ ආදරබහ අවසන් වූයේ දෙදෙනා අතර ආරවුලක් ඇතිකරගෙනය.
“මම හිත හදාගෙනයි ඉන්නේ... ඔයා මා ගැන බලාපොරොත්තු තියාගන්න එපා”
ජීවිතේ කිසිදා නොකී මෙවන් වදන් මගේ මැණිකෙගෙ මුවින් පිටවීම ගැන පුදුමයට පත් නිලන්ත
ඇයගේ මෙම වෙනස් වීමට හේතු විමසා සිටියේය.
ඒත් ඊට ඇය ප්‍රතිචාර දැක්වූයේ නැත. ඊට පිළිතුරු වශයෙන් ඇය බොහෝ අවස්ථාවලදී කළේ
දුරකථනය විසන්ධි කිරීමය. මෙය නිලන්තට දරාගත නොහැකි විය.
එහෙත් ඇයට ඒ වනවිටත් තවත් පෙම්වතකු හමුවී සිටියාය. ඇය මේ බව අම්මාටද කීවාය. අම්මාගේ
විරුද්ධත්වයක් තිබුණේ නැත. එහෙත් මේ බව නිලන්ත දැන සිටියේ නැත.
ඔහු දස අතේ කල්පනා කළේය. නිවාඩු ලබා කොළඹට පැමිණ සිය පෙම්වතිය මුණ ගැසුණේය.
“ඇයි ඔයා මට මෙහෙම කරන්නේ”
“දැන් ඒවා කතා කරලා වැඩක් නැහැ”
වේදනාව දරාගත නොහැකි වූ නිලන්ත දිනක් ඇය සොයා බිබිලේ පිහිටි ඇගේ ගෙදරට ගියේය.
“අම්මේ... ඇයි මට මෙහෙම කරන්නෙ”
නිලත්ත සිය පෙම්වතියගේ මවගෙන් විමසුවේ හිටි හැටියේ නදිශානි වෙනස්වීමට හේතුව
කුමක්දැයි දැනගැනීමටය. ඇගේ මව කී දෙයින් ද නිලන්තගේ පෑරුණු හිත තව තවත් පෑරුණි.
“මට මගේ මැණිකේ නොලැබුණොත් වහ බීලා මැරෙනවා”
එදා නිලන්ත පිටවුණේ එවන් තර්ජනයක් ඇගේ මව හමුවේ තබමින්ය.
තවත් දිනයක් උදාවිය.
“සර් මගේ අම්මට අසනීපයි තවමත් හොඳ වුණේ නැහැ. මට තව දවස් දෙකක් නිවාඩු දෙන්න අම්මට
බෙහෙත් අරන් දීලා එන්න”
ඔහුගේ ඉල්ලීම ඉටුවිය. තවත් දවස් දෙකක නිවාඩුවක් ඒ සඳහා ලැබුණි.
ඒ ඉකුත් හය වැනිදාය. කොළඹට පැමිණි නිලන්ත සිය පෙම්වතිය වූ නදිශානිට දුරකථනයෙන්
ඇමතුවේය.
“මට විනාඩි පහකට ඔයා හම්බ වෙන්න ඕන” ඇය මුලින් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ද ඔහුගේ
ඇවිටිලි නිසා විනාඩි පහකට ඔහු හමුවීමට කැමැත්ත පළ කළාය.
බම්බලපිටියේ ක්‍රීඩා ඒකකයට ක්‍රිකට් පුහුණුවීම සඳහා උදෑසන යෑම ඇය සති දෙකක් තිස්සේ
කරගෙන ගියාය. එදා ද ක්‍රීඩා ඇඳුමෙන් සැරසුණු ඇය කොටුව දෙසට පයින් ඇවිද නිලන්ත සිටින
ලෝටස් පාරේ මගී පාලම උඩට ගියාය. ඒ ඔහු සමඟ වචනයක් දෙකක් කතා කොට මෙය ඉවරයක් කරගත
යුතු නිසාය.
මගී පාලම මතට පැමිණි නදිශානිව මුව පුරා රැඳුණු සිනහවකින් පිළිගත්ත ද ටික වේලාවකින්
නිලන්ත හැසිරුණේ ආරුඪ වූ පුද්ගලයකු ලෙසිනි.
කතාබහ උණුසුම් වන්න විය. පාලම මත සිටි යාචක කාන්තාව මොවුන්ගේ ආවේගශිලී කතාබහට කන්
යොමා සිටියාය.
“දෙන්න හයියෙන් හයියෙන් කතා කරගත්තා. එකපාරටම දෙන්නා රණ්ඩු වුණා... කෙල්ල එතැනින්
යන්න හැදුවා. ඒත් ඒ කොල්ලා යන්න දුන්නේ නැහැ. කොහේදෝ තිබුණු පිහියක් අතට අරන්
කෙල්ලගේ කොණ්ඩයෙන් අල්ලගෙන පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියා. පිහි පාර කාගෙන කෙල්ල බිම
වැටුණා.”
මම එතනට දුවගෙන යන්න හදනකොටම එන්න එපා ළඟට උඹට බෝම්බ ගහනවා කියලා අතේ තිබුණු බෑග්
එකට අත දැම්මා. මම හිතුවා බෝම්බයක් වෙන්න ඇති කියලා. ඒත් බෑග් එකෙන් බෝතලයක් එළියට
අරන් මූඩිය ගලවලා බිම වැටිලා හිටිය කෙල්ලගේ කටට ඒක හැලුවා. ඉන් පස්සේ ඒ බෝතලය එයාගේ
කටටත් හලාගත්තා. ඒත් එක්කම කොල්ලා ඇදගෙන වැටුණා. පස්සේ පොලීසියෙන් ආවා. එතකොට තමයි
දන්නේ දෙන්නම පොලීසියේ අය කියලා.”
යාචක කාන්තාව පරීක්ෂණ පවත්වන නිලධාරියාට ඇසින් දුටු සිද්ධිය කීවාය. ඒ වන විටත් සිය
පෙම්වතා අතින්ම පිහි පහර කිහිපයක් කෑ නදීශානි අවසන් ගමන් ගොස් සිටියාය. බිම වැටි
සිටි කොස්තාපල් නිලන්තට ඒ වන විටත් පණ තිබු බැවින් සෙසු පොලිස් නිලධාරීන් එක්ව ඔහු
රෝහල්ගත කරන ලදි. පත්‍රය මුද්‍රණයට යන මොහොත තුරුම ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට
නොහැකි වී තිබේ. ඔහු පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
කෙසේ වෙතත් ඇය ඝාතනය කිරීම සඳහා යොදාගනු ලැබු වක් පිහිය සැකකාර කොස්තාපල්වරයා සිය
නිවසේ සිටම ගෙන එන ලද්දක් බව පොලීසිය කියයි. මගී පාලම මත වැටී තිබු ලේ තැවරුණු වක්
පිහිය ද හිස් වස බෝතලය ද පොලිස් බාරයට ගෙන තිබේ.
මේ අතර නදිශානි මධුභාෂිණි සමරසිංහ නමැති කොස්තාපල්වරියගේ මරණය සිදුවී ඇත්තේ ගෙල
කැපීමෙන් සිදුවූ තුවාලවලින් පිටවූ අධික රුධිර වහනයෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී
ආනන්ද සමරසේකර මහතා තීරණය කළේය.
ඇයගේ ශරීරය පුරා තියුණු ආයුධයෙන් පහරදීමෙන් කැපුම් තුවාල 20 ක් හා කොන්ද ආශි‍්‍රත
ප්‍රදේශයේ දරුණු කැපුම් තුවාල තුනක් ද තිබී ඇත.
ඇගේ ගෙල ශරීරයෙන් වෙන්වී යන ලෙස කපා ඇති බවත් ගෙල පිටුපසින් හම් කැබැල්ලකින් පමණක්
යාන්තමින් ශරීරයට සම්බන්ධව තිබු බවත් අධිකරණ වෛද්‍යවරයා නිකුත් කළ වාර්තාවේ සඳහන්
ය.
කොටුව පොලිස් ස්ථානාධිපති චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත ලලිත් සිලෝගම මහතා ඇතුළු
කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ.
0 comments:
Post a Comment