Photobucket

Sunday, January 13, 2013

ටෝනි ග්‍රෙග් සිටියා නම්....

ටෝනි ග්‍රේග් මෙලොව හැරගිය පුවත ක්‍රිකට්‌ ක්‍රීඩා ලෝලීන් හට අදහාගත නොහැකි වීම පුදුමයට කරුණක්‌ නොවේ. ක්‍රීඩකයකු හැටියටත් ක්‍රීඩා විස්‌තර විචාරකයකු හැටියටත් ක්‍රීඩා නිලධාරියකු හැටියටත් ටෝනි ග්‍රෙග් බොහෝ අවස්‌ථාවලදී උණුසුම් පුවත් මවන්නකු විය. එදා ප්‍රේක්‍ෂකයන් හට උණුසුම් පුවත් මැවූ ටෝනිගේ වියෝවත් අදහාගත නොහැකි උණුසුම් පුවතක්‌ බවට පත්විය.


ශ්‍රී ලංකාව ජගත් ක්‍රිකට්‌ පිටියේ විරල ජයග්‍රහණ වාර්තා වූ බොහෝ අවස්‌ථාවලදී ටෝනි ග්‍රෙග් විස්‌තර කථනයට සහභාගි විය. එහි වැදගත්කම වන්නේ ඔහු මාධ්‍ය හරහා පමණක්‌ ශ්‍රී ලංකාවට සේවය සැලසීමෙන් ඔබ්බට ගිය කාර්යයක්‌ ඉටු කළ බැවිනි. ශ්‍රී ලංකා කණ්‌ඩායම පිටියේ ක්‍රීඩා කරන විලාශය සාර්ථක ලෙස ඉටු නොකරන අවස්‌ථාවලදී ඔහු ක්‍රීඩකයන් හමුවෙමින් ගුණ දොස්‌ පැවසීය. නිවැරදි මග පෙන්වීය. ඒ ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු ලෙසටයි.

ටෝනි ග්‍රෙග් සතු අත්දැකීම්, තාක්‍ෂණික දැනුම සහ අවංක කැපවීම ශ්‍රී ලංකා කණ්‌ඩායමට ආශිර්වාදයක්‌ වූ අවස්‌ථාව ඕනෑ තරම් තිබේ. මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට පවසමින් ඩැරල් හෙයාර් විනිසුරු දිගින් දිගටම මුරලි යවන පන්දු නිපන්දු ලෙස සංඥ කළ අවස්‌ථාවේදීද ටෝනි ග්‍රෙග් ශ්‍රී ලංකාව සමග සිටියේය. එදා ඩැරල් හෙයාර්ගේ ක්‍රියා කලාපයට විරෝධය පෑමට ඔස්‌ටේ්‍රලියාව සමග තරගයෙන් ශ්‍රී ලංකාව පන්දු රැකීමෙන් ඉවත් කරගැනීමට නායක අර්ජුන රණතුංග සූදානම් වූ අවස්‌ථාවේ එය වළක්‌වා ගැනීමට ටෝනි ග්‍රෙග් වහා ක්‍රියාත්මක විය.

ටෝනි ග්‍රෙග්ගේ උපදෙස්‌, ගුරු හරුකම් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රවීණ සහ ප්‍රධාන ක්‍රීඩකයින් හැමදාමත් අගය කළ බවත් ඒ අනුව ක්‍රියා කිරීමට හෝ ක්‍රීඩා කිරීමට ඔවුන් මැලි නොවූ බවත් සිහිපත් කළ යුතුය.

වසර 1992 සිට 1998 දක්‌වා ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග විකාශය ජාතික රූපවාහිනිය හරහා සිදුකළ කාලයේදී මාද ඒ විස්‌තර කථන කණ්‌ඩායමට ඇතුළත් වූ වකවානුවයි. අවස්‌ථා කිහිපයකදීම ටෝනි ග්‍රෙග් සමගින් කටයුතු කිරීමට මට අවස්‌ථාව උදා විය. වරක්‌ නවසීලන්තයට එරෙහිව තරගයක්‌ ගාල්ලේදී පැවැත්විණි. ටෝනි එම තරගය ආරම්භය සඳහා සූදානම් වී විකාශය ආරම්භය වෙනුවෙන් ජාතික රූපවාහිනී කැමරාව ඉදිරියේ අදාළ කොටස නිම කර තරග ආරම්භය වෙනුවෙන් විස්‌තර කථනය විචාරක කුටියට භාර කළේය. නමුත් තද අව්ව සමගින් තද වැස්‌සක්‌ ඇද වැටී එදිනට තරගය නවතා දැමීමට සිදු වුණි. වාහම විස්‌තර විචාරක කුටියට පැමිණි ටෝනි ග්‍රෙග් මට අතට අත දී .උeaඑයෑර ඵ්බ. කියා මට සුබ පැතුවේය. ඒකට හේතුව වූයේ එම තරගය ආරම්භයට පෙර මම ඔහුට කීවා කොතරම් තද අව්ව පායලා තිබුණත් සමනල පාලම උඩින් වැහි වලාවන් මෝදු වුවහොත් වැස්‌ස අනිවාර්යයි කියා. ඒ පිළිබඳව අත්දැකීම මට හිමි වුණේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිවලට සහභාගි වීමෙනි.

ටෝනි ග්‍රෙග් සජීවි විස්‌තර කථනයෙන් පසුව බොහෝ වේලාවට ඔහු සිය පරිගණකය මගින් ශ්‍රී ලංකාවේ වැදගත් ස්‌ථාන මෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යා හැකි දේවල් පිළිබඳ සොයා බැලූ අවස්‌ථා මා දැක තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාම තානාපති ධුරයට සාධාරණය ඉටු කළ ටෝනි ග්‍රෙග් මෙවර ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියා තරගාවලියේ විස්‌තර විචාරයට එක්‌වී සිටියා නම් ශ්‍රී ලංකාව මෙතරම් දරුණු පරාජයකට ලක්‌ නොවනු ඇතැයි මාගේ හැඟීමයි. ඔහු ක්‍රීඩකයන්ව දිරි ගන්වන විලාශය සහ ශ්‍රී ලංකා පිතිකරුවන් දුර්වල වන අවස්‌ථාවලදී ඔවුන්ගේ මුහුණටම කළ යුතු දේ පැවසුවේය. ඇතැම් විට ඔස්‌ටේ්‍රලියාවේදී පළමු ටෙස්‌ට්‌ ජයග්‍රහණයක්‌ ලබා ගැනීමටද ටෝනි ග්‍රෙග් සතු අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට අවස්‌ථාවක්‌ තිබුණි. ඒත් අහේතුවකට ශ්‍රී ලංකාවට සිටි හොඳ ජාත්‍යන්තර මිතුරකු සඳහටම මෙලොවින් සමුගැනීම මිල කළ නොහැකි පාඩුවකි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all