Photobucket

Monday, January 14, 2013

අගවිනිසුරුවරිය වහාම ඉවත් කරයි!

ඉවත් කිරීමේ ලිපියට ජනපති අස්සන් කරයි
නියෝගය අගවිනිසුරු නිල නි‍ෙවසට භාර දෙයි

දෝෂාභියෝගයකින් ඉවත් කළ ප්‍රථම අගවිනිසුරු

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ ලිපියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 13) උදෑසන අස්සන් කළ බවත්; එම ලිපිය ඊයේ උදෑසන ම අගවිනිසුරුවරියගේ නිල නිවෙස වෙත යැවූ බවත් ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා කියා සිටියේ ය. 

2013 ජනවාරි 11 දා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාවට අනුව එතුමිය ධු‍රයෙන් ඉවත් කිරීමේ නියෝගයට ජනාධිපතිවරයා අස්සන් කළ බව ද එහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (02) වගන්තිය අනුව එම පියවර ගෙන ඇති බව ද ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා තවදුරටත් කියා සිටී. අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කිරීමේ නියෝගය ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු සහ ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් ඊයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙත භාරදී තිබේ. 

පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයකගේ අනුමැතියෙන් සම්මත වූ යෝජනාව ජනාධිපතිතුමා විසින් පිළිගෙන ඇත. මෙරට ඉතිහාසයේ දෝෂාභියෝගයකින් ඉවත් කෙරුණු ප්‍රථම අගවිනිසුරුවරිය බවට ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මේ අනුව පත් වන්නීය.දෝෂාභියෝගය විමර්ශන වාර්තාව පසුගිය සිකුරාදා (11) පාර්ලි‍මේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ අතර එදින රාත්‍රියේ කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත මේ බව දැනුම් දී තිබිණි.

අගවිනිසුරුවරියගේ ක්‍රියාකලාපයන් පිළිබඳ වූ දෝෂාභියෝග යෝජනාවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 117 කගේ අස්සනින් යුක්තව කතානායක චමල් රාජපක්ෂ මහතා වෙත පසුගිය නොවැම්බර් මස 01 වැනි දින භාර දෙන ලදී. එම‍ යෝජනාව නොවැම්බර් 06 වැනි දින පාර්ලිමේන්ත්‍ර න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරුණු අතර කතානායකවරයා ඒ පිළිබඳ විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේය. ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවට ආණ්ඩු පක්ෂ නියෝජිතයන් 07 දෙනකු සහ විපක්ෂ නියෝජිතයන් 04 දෙනෙකු ඇතුළත් විය. 

තේරීම් කාරක සභාවේ විමර්ශන වාර්තාව දෙසැම්බර් මස 08 වැනිදා කතානායකවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඉදිරිපත් වූ චෝදනා 14 න් පහක් පමණක් විමර්ශනය කොට ඉන් චෝදනා 3කට අගවිනිසුරුවරිය වැරැදිකාරිය බව වාර්තා වේ සඳහන් විය. 

අංක 01, 03, 04 චෝදනා සඳහා ඉදිරිපත් වූ වාචික හා ලිඛිත සාක්ෂි අනුව එකී විෂමාචාර චෝදනා ඔප්පු වී ඇති බවද විශේෂ කාරක සභාව තීරණය කර තිබිණ. 

ඒ පිළිබඳ විවාදය ‍ජනවාරි මස 10 සහ 11 දිනවල පැවැත්වුණු අතර අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය වැඩි ඡන්ද 106 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ ජනවාරි මස 11 වැනිදාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all