බොරලැස්‌ගමුව දෙහිවල පාරේ අවන්හල් හිමිකරුවකුගේ රුපියල්
ලක්‍ෂ තුනකට අධික වටිනාකමින් යුත් ත්‍රිරෝද රථයක් සොරාගෙන
ගිය සැකකරුවන් දෙදෙනකු පැය හතරක් ඇතුළතදී අත්අඩංගුවට
ගැනීමට බොරලැස්‌ගමුව පොලිසිය (13 වැනිදා) සමත්විය.
ඔවුන් සොරාගත් ත්‍රිරෝද රථය කහතුඩුව ප්‍රදේශයේ වත්තක සඟවා තිබියදී සොයාගත් බවත්, මීට අමතරව මෙම ත්‍රිරෝද රථය සොරාගන ඒමට සැකකරුවන් දෙදෙනා යොදාගත් වෑන් රථයක්‌ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
අවන්හල ආසන්නයේ නවතා තිබියදී ත්‍රිරෝද රථය සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
අවන්හලට පැමිණි අවසන් පුද්ගලයන් දෙදෙනා සැක බවට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා කටුවාවල හා වේරහැර යන ප්‍රදේශවලදී කොටුකරගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 30 - 35 යන වයස්‌වල පසුවන්නන් බවත් ඔවුන් ගරාජයක සේවකයන් බවත්, හෙළිවිනැයි පොලිසිය කියයි. අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ලක්‌ෂ්මන් ද අල්විස් මහතාට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මෙම ත්‍රිරෝද රථය සොයා ගෙන ඇත. සැකකරුවන් වැඩකරන ගරාජයේ තිබූ වෑන් රථයකින් පැමිණ මෙම ත්‍රිරෝද රථය සොරාගෙන ගිය බවට පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත. ඔවුන් දෙදෙනා තවත් මෙවැනි ත්‍රිරෝද රථ සොරකම් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද පොලිසිය කියයි.
මේ පිළිබඳව නුගේගොඩ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ප්‍රනාන්දු, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ බොරලැස්‌ගමුව පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ලක්‌ෂ්මන් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්‌තාපල් බණ්‌ඩාර (37957) ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
0 comments:
Post a Comment