ශිෂ්ට ලෝකයේ බොහෝ ජාතීහු තම ජාතියට ආවේනික වාර්ෂික උත්සව පවත්වති. එම උත්සව බොහෝ
සෙයින් තම තමන් විශ්වාස කරන දෙවිවරුන් හා සම්බන්ධ වේ. පුරාණ කෘෂිකාර්මික
සමාජවල අස්වනු නෙලා ගැනීමෙන් පසු තමන්ට ලැබුණ ආර්ථික ලාභයත් දැරූ වෙහෙසෙහි
ප්‍රතිඵලත් ගැන සිතමින් සතුටු විනෝද වූයේ තමන් ඇදහූ පරිදි කෘෂිකර්මයට
ආශිර්වාද කළ දෙවියන්ට පුද පූජා පවත්වමින් ස්තුති කරමින් ය. සතුන් දඩයමේ ගිය
ජාතීන් ඒ අයුරින්ම සතුන් දඩයම පිළිබඳ දෙවි දේවතාවුන්ට පුද පූජා උත්සව
පැවැත්වූහ.
මෙසේ ආරම්භ වූ උත්සව ඒ ඒ ජාතීන්ගේ ජාතික උත්සව බවට අද පත්වී ඇත. ශ්‍රී ලංකාවේ මෙන්ම
විශේෂයෙන් තමිල්නාඩුවේ වෙසෙන අපේ සහෝදර දමිළ ජනතාව එසේ ජනවාරි 13 සිට 16
දක්වා දින හතරක් තිස්සේ සමරන තෛ පොංගල් උත්සවය ඔවුන්ගේ ජාතික උත්සවය බවට පත්ව
ඇත. අදින් වසර දහසකටත් පෙර අවධියක විශේෂයෙන් සොළී දේශයේ ගොවීන් විසින් සිය
අස්වනු නෙලා ගැනීමෙන් පසු සූර්ය දෙවියන්ට ස්තුති කිරීම සඳහා ආරම්භ කර තිබූ
පුතියීදුදූල් නම් වූ උත්සවයක් වී තිබුණි.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් සංවර්ධනය
වී ගිය මෙම උත්සවය අද දමිළ ජනතාවගේ ජාතික උත්සවය බවට පත්වීමෙන් ශ්‍රී ලංකාවේ
පමණක් නොව ලොව පුරා වෙසෙන හින්දු භක්තික දමිළ ජනතාව විසින් සමරනු ලැබීමෙන් එම
ජාතිය තුළ එකමුතු බවක් සමගියක් හා බැඳීමක් තහවුරු කිරිමට හේතු වනවා පමණක්
නොව දීර්ඝ ඉතිහාසයක් ඇති සංස්කෘතික උත්සවයක් නොකඩවා අනාගත පරම්පරාවට
දායාද කිරීම ද සිදු කෙරේ.
පොංගල් දිනයේ හිරු උදාවත් සමඟ ශුභ මොහොතින් කෙරෙන සූර්ය
දෙවියන්ට ස්තුති කිරීම සඳහා කිරි උතුරවා කිරිබත පිළියෙල කිරීම ගෙමිදුලේ ඒ සඳහා
සකසා ගත් සුවිශේෂී ස්ථානයක සිදු කෙරේ. සාම්ප්‍රදායානුකූල කෝලම් නම් වූ රටා
ඇඳීම් සැරසිලිවලින් භූමිය අලංකාර කොට එතැනට පූජනීය බවක් ලබා දෙන්නේ දෙවියන්
කෙරෙහි දක්වන ගරුත්වය නිසා ය. කොල්ලම් නම් වූ නැවුම් මුට්ටියක පිසිනු ලබන මෙම
සුවිශේසී පොංගල් බතට හකුරු, කජු, කරදමුංගු ඇතුලු තවත් දෑ මුහු කරති. පසුගිය
කන්නය සරු කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තයට පොහොර ලබා දුන් ගවයන්ට ද ඒ වෙනුවෙන්
ස්තුති කිරීම සිදු කරන්නේ ඔවුන් නාවා, අං විවිධ වර්ණයෙන් පාට ගන්වා හකුරු, කෙසෙල්
හා වෙනත් දෑ බුදින්නට දීිමෙනි.
කාන්තාවන් හා බාලිකාවන් විසින් කපුටන් ඇතුලු පක්ෂීන්ට රසකැවිලි මුසු බත් දී
තම සහෝදරයින්ගේ යහපත ප්‍රාර්ථනා කරනු ලැබේ. ශ්‍රී ලංකාවාසී මෙන්ම දකුණු
ඉන්දියානු ඇතුළු ලොව අනෙකුත් දේශවල වෙසෙන සියලුම හින්දු භක්තික දමිළ
බැතිමතුන්ට ඉතා වාසනාවන්ත පොංගල් දිනයක් හා නව වසරක් උදාවේවා! යි ප්‍රාර්ථනා
කරමි.
0 comments:
Post a Comment