Photobucket

Monday, January 14, 2013

96 ලෝක ශූරයෝ යලි පිටිය ‍දෙවනත් කරති

අසරණ වු දු දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාව සපුරාලන නැණ දිරිය වැඩසටහන වන “බේබි ෂෙරමි බිග් හාට්” ව්‍යාපෘතිය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම පිණිස 96 ලෝක කුසලානය දිනු ක්‍රිකට් විරුවෝ පෙරේදා එන්.සී.සී පිටියට පිවිසියහ.

 බිග් හාට් ව්‍යාපෘතියේ සන්නාම කළමනාකරු 96 ලෝක කුසලාන දිනු කණ්ඩායමේ සාමාජික රොෂාන් මහානාමගේ කැපවීම මත ලෝක ශූර නායක අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩක‍යෝ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ පිල මේ අර්ථවත් සත්ක්‍රියාවට එක්වෙමින් තරගයට පිවිසියහ.

අර්ජුන රණතුංග දැවැන්ත හයේ පහර දෙකක් සමග නොදැවී ලබාගත් ලකුණු 37 හා රොමේෂ් කලුවිතාරණ පන්දු 30කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමග නොදැවී රැස් කළ ලකුණු 52 හේතුවෙන් කඩුලු 5ක ජයක් ලැබු 96 ලෝක ක්‍රිකට් විරුවෝ එදා කිරුළ දිනා ගත්තාට වඩා සතුටක් මේ තරගයේදී ලබාගත් බව පැවැසුහ.

අර්ජුන එන්.සී.සී පිටියේ ක්‍රීඩාගාරයට උඩින් මේට්ලන්ඩ් පෙදෙසේ පාර දෙසට එල්ල කළ යෝධ හයේ පහර අද ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයයෙකුවත් එල්ල කර නැත. කලුවිතාරණගේ පිත්තෙන් පිට පිට එල්ලවු හතරේ හයේ පහරවල් වත්මන් ක්‍රීඩකයන්ට ආදර්ශයක් බව බොහෝ දෙනාගේ මතය විය. තරගයෙන් පසුව අර්ජුන කිවේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිමට අවස්ථාව දුන් තිස්ස කරලියද්ද ඇමැතිතුමාට ස්තුතිවන්ත වන බවයි. අපි ක්‍රිකට් ක්‍රීඩකයෝ විදිහට මවුබිමට ණයයි. මේ අවස්ථාව ඉතාම සංවේදී එකක් කඳුලින් නෙත් පුරවාගත් හෂාන් තිලකරත්න පැවැසීය.

මේ සුහද තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ රොමේෂ් කලුවිතාරණයි. ඔහු සමග එදා ලෝක කුසලානය දිනාගත් දවසේ ටෝනි ග්‍රෙග් හැඳින්වු “මාස්ටර් බ්ලාස්ටර්” සනත් ජයසුරිය ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ලෝක කුසලානය දිනාගත් තරගයේ ආකාරයේ නිල් පැහැති ඇඳුමිනි. සනත් හා අරවින්ද දවාගැනීමට දඟ පන්දු යැවු අශෝක ද සිල්වා සමත් වු අතර අසංක ගුරුසිංහද ලකුණු 12කට දැවී ගියේය.

මහානාම හා හෂාන් පිළිවෙළින් ලකුණු 12ක් හා 11ක් ලබා කඩුලු 3කට ලකුණු 138ක් ලෙස ජය තහවුරු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ පිල කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු 137ට පිළිතුරු වශයෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ පිල සිදත් වෙත්තමුණි මෙහෙයවු අතර බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත දේවප්‍රිය, රොජර් විජේසුරිය, ග්‍රේම් ලැබ්රෝයි, අශෝක ද සිල්වා, සංජීව වීරසිංහ, කපිල විජේගුණවර්ධන, රංජිත් මධුරසිංහ, එරික් උපශාන්ත, හේමන්ත වික්‍රමරත්න එක්වුහ.

96 ලෝක කුසලාන ක්‍රිකට් පිල අර්ජුන රණතුංග මෙහෙයවු අතර සනත් ජයසුරිය, අරවින්ද සිල්වා, රොමේෂ් කලුවිතාරණ, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, චමින්ද වාස්, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර ක්‍රීඩා කළහ.

මෙදින එක්වු බොහෝ ක්‍රීඩකයන් වර්තමානයේ විදෙස් රටවල ජීවත්වන අතර මේ තරගය වෙනුවෙන්ම මවුබිමට පැමිණීම ද විශේෂත්වයකි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all