Photobucket

Wednesday, January 16, 2013

ඔස්ට්‍රේලියාව මීට වඩා ශ්‍රී ලංකාවට ගෞරව කළ යුතුයි

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම තෝරන නිළධාරීන් ශ්‍රී ලංකාවට මීට වඩා ගෞරව කළ යුතු යැයි හිටපු ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු මයිකල් ස්ලේටර් පවසයි.

 ස්ලේටර් දැන් ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගවල විකාශන අයිතිකරුවන් වන ‘චැනල් නයින්’ හි රූපවාහිනී නිවේදකයකු ලෙස කටයුතු කරයි.

ස්ලේටර් ඉහත ප්‍රකාශය කර ඇත්තේ ඇඩිලේඩ් හි පැවැති දෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයේ ඔස්ට්‍රේලියාව ලැබූ කඩුලු අටක පරාජය සම්බන්ධයෙනි.

එම තරගයට ඔස්ට්‍රේලියාව ‘දෙවැනි පෙල’ කණ්ඩායමක් ඉදිරිපත් කළා පමණක් නොව පළපුරුදු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු විවේක ගන්වමින් මහත් වරදක් කර ගත්තේය. 

මෙල්බර්න් හි පැවැති පළමු එක්දින තරගයේදී ලත් පහසු ජයග්‍රහණයෙන් උද්යෝගිමත් වූ ඔස්ට්‍රේලියානු තේරීම් නිළධාරීහු එම තරගයට ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයන් තිදෙනෙකු විවේක ගන්වා වෙනත් ක්‍රීඩකයන් දෙදෙනෙකුට මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග වරම් ලබා දුන්හ.

උස්මාන් කවාජා හා වේග පන්දු යවන්නන් වන මිචල් ජොන්සන් සහ මිචල් ස්ටාක් ඉවත් කළ ඔවූහු ඒ වෙනුවට ස්ටීව් ස්මිත්, බෙන් කටිං හා කේන් රිචර්ඩ්සන් කැඳවූහ.

කටිං හා රිචර්ඩ්සන් මේ තරගයේ ක්‍රීඩා කළේ ඔවුන්ගේ එක්දින ක්‍රීඩා දිවියේ ප්‍රථම වතාවටය. කවාජා හා ජොන්සක් විවේක ගැන්වීම පහදා දිය නොහැකි කාරණාවක් විය.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානුවෝ දැන් ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරි තරග සඳහා සිය කණ්ඩායම ශක්තිමත් කිරීමේ අරමුණින් නිත්‍ය නායක මයිකල් ක්ලාක්, ඩේවිඩ් වෝනර් හා මැතිව් වේඩ් කැඳවා තිබේ.

මේ අතරවාරයේ, ඇඩිලේඩ් තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දින හතරක විවේකයක් ලැබී තිබේ. මේ සංචාරයේ අවශ්‍යවම තිබූ ජයග්‍රහණයක් ලබා ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඇඩිලේඩ් තරගයෙන් තම ක්‍රීඩාව අවදි වී දැන් ජයග්‍රාහී මාවතට පිවිස ඇතැයි යන විශ්වාසයෙන් පසුවේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all