Photobucket

Wednesday, January 16, 2013

අගවිනිසුරු ලෙස මොහාන් පීරිස්‌ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ හතළිස්‌හතර වැනි අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස්‌ මහතා (15 දා) පස්‌වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
මොහාන් පීරිස්‌ මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත්කිරීම සඳහා පාර්ලිමේන්තු කවුන්සිලයේ අනුමැතිය ද ලබාදෙන ලදී.

ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ පසු ඊළඟ අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මොහාන් පීරිස්‌ මහතාගේ නම (14 දා) පාර්ලිමේන්තු කවුන්සිලය වෙත යෝජනා කළේය. 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද පාර්ලිමේන්තු කවුන්සිලය ආණ්‌ඩු පක්‍ෂයේ නියෝජිතයන් තිදෙනකුගෙන් සහ විපක්‍ෂයේ නියෝජිතයන් දෙදෙනකුගෙන් සමන්විතය. කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු කවුන්සිලය ආණ්‌ඩු පක්‍ෂය වෙනුවෙන් අගමැතිවරයා සහ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් මහතා නියෝජනය කරති. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප පත්කළ මන්ත්‍රී ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා විපක්‍ෂය නියෝජනය කරති.

නව අගවිනිසුරු ලෙස ජනාධිපතිවරයා විසින් යෝජනා කළ මොහාන් පීsරිස්‌ මහතා ඒ සඳහා නිර්දේශ කිරීම සඳහා කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කවුන්සිලය (15 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌වූහ. එහෙත් ඒ සඳහා විපක්‍ෂ නායකවරයා සහ ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා සහභාගි නොවූ බව පත්කළ මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් මහතා "දිවයින" ට කීවේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අගවිනිසුරු ධුරය සඳහා යෝජනා කළ මොහාන් පීරිස්‌ මහතාගේ නම පාර්ලිමේන්තු කවුන්සිලය විසින් අනුමත කළ බව කී අස්‌වර් මහතා ඊට කථානායක චමල් රාජපක්‍ෂ මහතා, අගමැති දි. මු. ජයරත්න මහතා සහ තමන් අත්සන් තබා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව පැවසුවේය.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මොහාන් පීරිස්‌ මහතා පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට පිවිසියේය. 1975 වසරේදී නීතිඥයකු ලෙස දිව්රුම් දුන් පීරිස්‌ මහතා ජනාධිපති නීතිඥ දයා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩී. ආර්. පී. ගුණතිලක මහත්වරුන් යටතේ නීතිඥවරයකු ලෙස කටයුතු කළේය.

1978 වසරේදී එංගලන්තයේ වේල්ස්‌හි ශ්‍රේෂ්ඨාධිකරණයේ සොලිසිටර්වරයකු ලෙස සේවය කළ හෙතෙම 1981 වසරේදී යළි මව්බිමට පැමිණ රජයේ නීතිඥයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්‌විය. රජයේ නීතිඥවරයකු සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ලෙස වසර පහළොවකට අධික කාලයක්‌ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කළ මොහාන් පීරිස්‌ මහතා හාර්වඩ්හි නීති විද්‍යාලයේ නීතිය පිළිබඳ පුහුණුවක්‌ද, කේම්බ්‍රිඡ් විද්‍යාලයේ සහ ජෝර්ඡ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පොලිස්‌ සහ අපරාධ විනිශ්චය සම්බන්ධ අධ්‍යාපනය ද ලබා ගත්තේය.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව පෞද්ගලිකව නීති වෘත්තියේ යෙදුණු මොහාන් පීරිස්‌ මහතා පරිපාලන නීතිය, වාණිජ නීතිය, අපරාධ නීතිය, පරිසර නීතිය, මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීතිය, මූල්‍ය ගනුදෙනු, තොරතුරු තාක්‍ෂණ නීතිය, ජාත්‍යන්තර සමථකරණ නීතිය, දූෂණ විරෝධී නීතිය සහ මානව අයිතිවාසිකම් නීතිය පිළිබඳ ප්‍රවීණයෙකි. මොහාන් පීරිස්‌ මහතා 2004 වසරේදී ජනාධිපති නීතිඥයකු ලෙස ද දිව්රුම් දුන්නේය.

නීති විද්‍යාලයේ මධ්‍යම විභාග පරීක්‍ෂක මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති මොහාන් පීරිස්‌ මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ සාමාජිකයෙකි.

ශ්‍රී ලංකාවේ 25 වැනි නීතිපතිවරයා ලෙස 2008 වසරේ දෙසැම්බර් මස පත් වූ මොහාන් පීරිස්‌ මහතා 2011 වසර දක්‌වා එම ධුරයේ කටයුතු කර විශ්‍රාම ලැබුවේය.

ඉන්පසු අමාත්‍ය මණ්‌ඩල නීති උපදේශකවරයා ලෙසත් සෙලාන් බැංකුවේ සභාපතිවරයා ලෙසත් පත් වූ මොහාන් පීරිස්‌ මහතා පසුගිය වසරේ මාර්තු මස ජිනීවාහි පැවැති මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ දූත මණ්‌ඩලයේ සාමාජිකයෙක්‌ ද විය. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පරීක්‍ෂණ කොමිසමේ නිර්දේශ අධීක්‍ෂණය කිරීමේ කටයුත්තේ ද මොහාන් පීරිස්‌ මහතා වර්තමානයේ නියෑළී සිටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all