Photobucket

Tuesday, January 1, 2013

බඩු සොරා ගත් කල්ලියක්‌ දැලේ

කාන්තාවන් 6 ක්‌ සහ පිරිමි දෙදෙනකුගෙන් යුත් රටපුරා වෙළෙඳසල්වලින් බඩු සොරා ගත් කල්ලියක්‌ දැලේ
 
ටී.වී. ලැප්ටොප් කාන්තාවන්ගේ කකුල් අතර සඟවාගෙන ගෙනිහින්

සායවලින් සැරසී ජැන්ඩියට හැඳ පැළඳ ගොස්‌ රටපුරා පිහිටි ඉලෙක්‌ට්‍රොනික භාණ්‌ඩ අලෙවිසල්වලින් එල්ඊඩී රූපවාහිනී සහ ලැප්ටොප් පරිගණක සොරාගෙන දෙකකුල් අතර සඟවාගෙන යැමේ මහා පරිමාණ ජාවාරමක යෙදුණු තරුණ කාන්තාවන් හය දෙනකු සහ තරුණයන් දෙදෙනකු වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සොර කල්ලියේ ප්‍රධානියා බව කියන මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සම්රාඡ් නමැත්තකු මීට මාසයකට පමණ පෙර ගෙල වැළලාගෙන මිය ගොස්‌ තිබේ.

එසේ මියගිය බව කියන සම්රාඡ්ගේ මරණය මිනී මැරුමක්‌ බවට ඇතිවූ සැකයක්‌ මත කැලණිය පොලිස්‌පති විශේෂ කාර්යාංශය පැවැත්වූ රහසිගත විමර්ශනයකදී මෙම සොර කල්ලිය පිළිබඳ සුළමුල හෙළිදරව් කර ගැනීමට පොලිසියට හැකිවී ඇත.

එසේ තොරතුරු හෙළි වීමත් සමග කැලණිය පොලිස්‌පති විශේෂ කාර්යාංශය මගින් කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේෂ් පෙරේරා මහතාට ලබාදුන් රහස්‍ය වාර්තාවකට අනුව වත්තල පොලිසිය සැකකරුවන් අතඅඩංගුවට ගැනීමේ විමර්ශන සිදු කර තිබේ.

මෙම කල්ලිය මෙහෙයවා ඇත්තේ මියගිය සම්රාඡ් නමැත්තාගේ අනියම් බිරිඳ බව කියන අත්අඩංගුවට පත් එක්‌ කාන්තාවක විසින් බව පොලිසිය සඳහන් කරයි.

සම්රාඡ්ගේ මරණයෙන් පසු සිය කල්ලියේම වෙනත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කරගෙන ඔහු සමග පලා ගොස්‌ සැඟව සිටි එම කාන්තාව මුලින්ම කොටුකරගත් පොලිසිය පසුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මත අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කල්ලිය කාලයක සිට ජාවාරම කරගෙන ගොස්‌ ඇති අතර එහිදී ඔවුන් රුපියල් කෝටි දෙකකට අධික භෘණ්‌ඩ තොගයක්‌ ඉලෙක්‌ට්‍රොනික භාණ්‌ඩ අලෙවිසල්වලින් සොරාගෙන ඇතැයිද පොලිස්‌ විමර්ශණවලදි හෙළිදරව් වී තිබේ.

යාපනය-මාතර-මහනුවර-නිට්‌ටඹුවසහ මහියංගනය ඇතුළු රටපුරා ප්‍රදේශ රැසකදී මොවුන් මෙසේ භාණ්‌ඩ සොරා ගෑනීම් සිදු කර ඇති අතර එම සොරා ගත් භාණ්‌ඩ අතරින් විවිධ ස්‌ථාන වෙත අලෙවි කර තිබූ එලඊඩී රූපවාහිනී යන්ත්‍ර පහක්‌, ලැප්ටොප් පරිගණක හතරක්‌ සහ විදුලි ස්‌ත්‍රික්‌ක ඇතුළු වටිනා භාණ්‌ඩ තොගයක්‌ සොයා ගැනීමට හැකි වූ බව කැලණිය කොට්‌ඨාසයෙA අසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් අටදෙනා අතරින් එක්‌ තරුණයකු පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක්‌ පිරිස මිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.

මෙම කල්ලියේ නායකයාව සිටි බව කියන මියගිය සම්රාඡ්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවේ සිටින ඔහුගේ අනියම් බිරිඳ පිළිබඳ මේ වන විට මීරිගම පොලිසිය මගින්ද තවත් විමර්ශනයක්‌ ආර්ම්භ කර ඇත.

කැලණිය ජ්‍යෙෂ්ට පොලිස්‌ අධිකාරි මහේෂ පෙරේරා මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌පති විශේෂ කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සමන් ගුණරත්න, වත්තල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඉන්දික ලොකුහෙට්‌ටි, අපරාධ අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මීඇල්ල යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද, සැරයන්වරුන් වන 53252 බණ්‌ඩාර, 55410 දිසානායක, 25431 චන්ද්‍රසේන ඇතුළු නිලධාරිහු පිරිසක්‌ වැඩිදුර විමර්ශන සිදු කරති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all