Photobucket

Monday, December 10, 2012

අධිකරණය ගෞරවනීයව කටයුතු කළ යුතුයි

කිසිවකුගෙන්වත් චෝදනාවක් එල්ල නොවන ආකාරයට සිය ගෞරවය රැකගෙන කටයුතු කිරිමේ වගකීම අධිකරණය සතු බවත් අධිකරණය කෙරෙහි ජනතාව තුළ ඇති ගෞරවය විනාශ වුවහොත් රට පාලනයේදී දුෂ්කරතා පැන නගින බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එදා හමුදාව දෙකට බෙදන්නට කටයුතු කළාක් මෙන්ම අද අධිකරණය දෙකට බෙදන්නට, දේශපාලනීකරණය කිරිමේ උත්සාහයක් පවතින බව පැවසූ ජනාධිපතිවරයා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ‍කටයුතු කළ යුත්තේ ජනතාවගේ අවශ්‍යතා අවබෝධ කරගෙන රටේ සංවර්ධනයට පහසුකම් දිමට බවත් ප්‍රජාතන්ත්‍රවාදීව තමන් පත් කර ගත් රජය පෙරළීමට මේ රටේ බුද්ධිමත් ජනතාව කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් අවධාරණය කළේය..

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව විවෘත කිරීමේ අවස්ථාවට මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී (09) එක්වෙමිනි.

දීර්ඝ කාලයක සිට මිනුවන්ගොඩට අවශ්‍යතාවක්ව පැවැති ප්‍රාදේශිය සභා සංකීර්ණය සියලු පහසුකම් සහිතව ගොඩනගා ඇති අතර ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 1500කි.

වර්ෂ 1996 දී ක්‍රිකට් ලෝක කුසලානය දිනීමේ ඵෙතිහාසිය සිදුවීම සිහිපත් කරමින් උඩුගම්පොළ නගර මධ්‍යයේ ඉදිකෙරුණු සමරුව ද ජනාධිපතිතුමාගේ අතින් විවෘත කෙරිණ. 

අගවිනිසුරු යම් වරදක් කළහොත් දඬුවම් කිරීමේ හැකියාවක් තමාට නොමැති බව පැවසූ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අනුව කළ හැක්කේ දෝෂාභියෝගයක් ගෙනැවිත් තේරීම් කාරක සභාවක් පත් කර මාසයක් තුළ චෝදනා විභාග කර තීන්දුවක් දීම බව පැවසීය.

තමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ව්‍යවස්ථාව ඉඩ සලසා නැති බවත් ජනාධිපතිවරයා කීවේය. ඕනෑම දූෂිත වැඩක් කර ආණ්ඩුවට චෝදනා කිරීම සාමාන්‍ය සිරිත බවට පත්ව ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා එවිට විපක්ෂයත් ඔවුන්ගේ පැත්තට කතා කරමින් ආණ්ඩුවේ වැරැදි කියන්නට පුරුදුව ඇති බව කීවේය. ජනාධිපති උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත් ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ෆීලික්ස් පෙරේරා, බස්නාහිර පළාත් මහඇමැති ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය ඇමැතිවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, ඩුලිප් විජේසේකර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රුවන් රණතුංග, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all