Photobucket

Tuesday, December 4, 2012

මේ තරම් ශක්තිමත් රජයක් නැවත බිහිවන්නේ නෑ

හින්දු පුවත්පතේ හිටපු කර්තෘ එන්. රාම් කියයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය වගේ බලවත් රජයක් අතීතයේ බිහි වී නැතුවා සේම අනාගතයේදීත් ශ්‍රී ලංකාවේ ඇතිවෙන්නේ නැහැ. එම නිසා දෙමළ ජාතික සන්ධානය (TNA) මේ අවස්ථාවේදී කළ යුත්තේ ජනවාර්ගික ප්‍රශ්නයට සදාකාලික දේශපාලන විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිතුමාට තමන්ගේ සහාය ලබාදීම බව ඉන්දියාවේ හින්දු ප්‍රවෘත්ති පත්‍රයේ හිටපු කර්තෘ එන්.රාම් මහතා පවසයි.

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමක් චෙන්නායිහි පැවැත්වෙන මාධ්‍යවේදීන්ගේ ආසියානු පුහුණු මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදී රාම් මහතා මේ තොරතුරු අනාවරණය කළේය.

තවදුරටත් අදසහ් දැක්වූ රාම් මහතා එල්.ටී.ටී.ඊ. ය පොල්පොට් අඥාපති වගේ හිතක් පපුවක් නැතිව මිනිසුන් ඝාතනය කළ නිසා එල්.ටී.ටී.ඊ. ය මේ යුද්ධයෙන් විනාශ වෙන තුරු ටී.එන්.ඒ.සංවිධානයේ නායකයන් ඔවුන්ට බියෙන් නිහඬ වෙලා එල්.ටී.ටී.ඊ. යෙ ක්‍රියා පටිපාටිය පිළිපැද්දා.

නමුත් අද එල්.ටී.ටී.ඊ. ය විනාශ වෙලා තිබෙන නිසා තමන්ට ලැබී තිබෙන දේශපාලන නිදහස කිසිවෙකුට බිය නැතිව රටට සෙතක් වෙන පරිදි පාවිච්චි කළ යුතුයි. ඒ නිසා ටී.එන්.ඒ.සංවිධානයේ නායකයො ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳගෙන ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ඇති කරන්න තමන්ගෙ පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවද එන්. රාම් මහතා තවදුරටත් පැවසුවා. 

එල්.ටී.ටී.ඊ. ය කරපු බරපතළ වැරදි දෙකක් නිසා ඒ සංවිධානයට ඉන්දියාවෙනුත් තමිල්නාඩුවෙනුත් ලැබුණු උදව් උපකාර දැන් මුළුමනින්ම නැතිවෙලා තිබෙනවා. 1987 එල්.ටී.ටී.ඊ. ය ඉන්දීය සාම හමුදාව සමඟ යුද්ධය ප්‍රකාශ කළ නිසාත් 1991 ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිව ඝාතනය කළ නිසාත් එල්.ටී.ටී.ඊ. යත් එක්ක ඉන්දියානු රජය සහ ජනතාවට තිබූ බැඳීම විනාශ වෙලා ගියා. දැන් ඉන්දීය ජනතාව විශේෂයෙන්ම තමිල්නාඩු ජනතාව එල්.ටී.ටී.ඊ. යට කිසිම ආකාරයකින් උදව් කරන්නට අකමැත්ත පළ කළා. 

හැබැයි තමිල්නාඩු ජනතාව ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන තීරණයක් අවශ්‍ය යැයි කියන ස්ථාවරයේ සිටින බවත් රාම් මහතා පැවසුවා. තමිල්නාඩුවේ ටෙසෝ සමුළුවට නායකත්වය දරපු හිටපු ප්‍රධාන ඇමැති කරුණානිධි මහතා දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්නට ජනමත විමසීමක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කළත් එය දේශපාලන ප්‍රකාශයක් පමණයි. 

ඒ ගැන තමිල්නාඩු දේශපාලකයන්ට කිසිම උනන්දුවක් නැති බවත් රාම් මහතා කියයි. 1987 ලංකාවේ ඉන්දියානු සාම හමුදාවේ අණ දෙන නිලධාරී හැටියට හිටපු ලුතිනන් ජනරාල් දිජෙන්ද්‍ර සිං මේ යුද්ධය නිමා වෙන්නට තව අවුරුදු තිහක් යන බව 1987 දී හින්දු පත්‍රයට ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ ඔහු රාජ්‍ය නිලධාරියෙක් නිසා රජයේ අණට ක්‍රියා කරන්නට සිදු වුණ බවද රාම් මහතා කියයි. 

ලංකාවේ දෙමළ ජනතාවගේ හතුරො හැටියට දැන් ක්‍රියා කරන්නෙ පිට රට ජීවත් වන දෙමළ ඩයස් පෝරාවල ඉන්න නායකයො බව පැවසූ රාම් මහතා අන්තර් ජාතික මාධ්‍ය එල්.ටී.ටී.ඊ. යට සහයෝගයක් පළ කරන අන්දමේ ක්‍රියා කරන බව ඔහු කියයි. අර්ජුන රණතුංග මහතා ගැන කරුණු දැක්වූ රාම් මහතා අර්ජුන රණතුංග හොඳ ක්‍රිකට් වීරයෙක් වුණත් ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති බොළඳ බව කියයි. ආසියානු මාධ්‍යවේදීන්ගේ පුහුණු මධ්‍යස්ථානයට ලාංකික මාධ්‍යවේදීන් ගිය අවස්ථාවේ රාම් මහතා මෙම තොරතුරු අනාවරණය කළේ ය. මේ පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව ලබා දීල පුහුණු කරන්නට සූදානම් බවත් රාම් මහතා කියයි.

මේ උත්සවයට ආසියානු මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ සභාපති ශෂි කුමාර් ලංකාවේ නියෝජ්‍ය තානාපති ආර්.කේ.එම්.ඒ. රාජකරුණා යන මහත්වරුන් සහභාගි වූහ.

 ගාමිණි ජයලත් ඉන්දියාවේ සංචාරයකින් පසු
දිනමිණ ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all