Photobucket

Tuesday, December 4, 2012

නැමීබියාව පැරද වූ ශ්‍රී ලංකාවට අද මැලේසියාව හමුවේ

සිංගප්පූරුවේ පැවැත්වෙන සික්ස් නේෂන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව ඊයේ සහභාගි වූ දෙවැනි තරගයෙන් නැමීබියාවට ලකුණු 69 – 65ක් ලෙස පරාජයට පත්කළේය. 

 ලෝක නෙට්බෝල් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටින නැමීබියාව ආරම්භයේ සිටම තියුණු සටනක නියැලී ක්‍රීඩා කළ අයුරු කැපී පෙනුණි. ශ්‍රී ලංකාව ලෝක කණ්ඩායම් අතර 23වැනි ස්ථානයේ සිටින අතර නැමීබියාව 26වැනි ස්ථානයේ සිටිය ද පළමු කාර්තුවේ දී ලකුණු තත්ත්වය 18-15ක් ලෙස ඉතා සමීපව තිබුණි.

දෙවැනි කාර්තුව නිමාවෙද්දී පරතරය ලකුණු 5ක් දක්වා ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. එවිට ලකුණු තත්ත්වය 37-32ක් විය. තෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාවට නැවත අභියෝගාත්මක ලෙස ක්‍රීඩා කළ නැමීබියා ක්‍රීඩිකාවෝ ලකුණු පරතරය 3ක් දක්වා රැගෙන ආහ. 

තෙවැනි කාර්තුව නිමාවෙද්දී ලකුණු තත්ත්වය 51-48ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකා ඉදිරිපෙළ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හේතුවෙන් තරගය නිමාවෙද්දී ලකුණු 4ක පරතරයකින් ජයග්‍රහණය හිමිවිය. සික්ස් නේෂන් නෙට්බෝල් තරගාවලියේ මෙතෙක් පැවැති තරග අතරින් උණුසුම් ලෙස නිමාවූ මෙය ශ්‍රී ලංකාවට ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩනැගීමට වාසියක් විය.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නෙට්බෝල් නායිකා ගයාත්‍රී ලංකාතිලක පැවැසුවේ නැමීබියාව සමග තරගය බලාපොරොත්තු වූවාට වඩා ප්‍රබල එකක් වූ බවයි.‍

'මුල් කාර්තු තුනේදීම නැමීබියා ක්‍රීඩිකාවෝ හොඳ තරගයක් දුන් නිසා සිවුවැනි කාර්තුවේ උපරිම දක්ෂතා අතරට අපට යන්න සිදුවුණා. මෙය පළමු ජයග්‍රහණය නිසා අපට මානසිකව වැදගත්.' ලංකාතිලක පැවැසුවාය.

ශ්‍රී ලංකාව අද මැලේසියාවට මුහුණදිය යුතුව ඇත. මැලේසියාව සහභාගිවූ පළමු තරගයේ දී ආසියානු ශූර සිංගප්පූරුවට එරෙහිව තියුණු සටනක් දුන් හෙයින් අද තරගයේදී ශ්‍රී ලංකා පිල හොඳ සැලසුමකින් අවතීර්ණ විය යුතුව ඇත.‍

මේ අතර සිංගප්පූරුවට හා අයර්ලන්තය අතර පැවැති තරගයෙන් ලකුණු 54-36ක ජයක් ලබා ගැනීමට සිංගප්පූරුව සමත්විය. ලකුණු තත්ත්වය වූයේ 16-8, 29-16, 42-26 හා 54-36ක් ලෙසිනි.

ප්‍රින්ස් ගුණසේකර
සිංගප්පූරුවේ සිට
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all