Photobucket

Tuesday, December 4, 2012

සුව ඇමතිගේ වැයික්කියේ ඇති පල්ලම රෝහල වල් වැදිලා

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම අරමුණු කර ගනිමින් ආරම්භ කළ පල්ලම මධ්‍යම බෙහෙත් ශාලාව ප්‍රදේශයේ ජනතාවට කිසිදු සේවාවක් නොකර වල් බිහි වෙමින් පවතින බව කෙසේ නම් කියන්නද?ඒත් එය සත්‍යයකි. ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් 18 ක ජනතාවට සෙත සැදීම මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම මෙම බෙහෙත් ශාලාව ආරම්භ කළ අයගේ අරමුණ වන්නට ඇත.නමුත් අද ඒ කිසිවක් ඉටුවී නැත. මෙම බෙහෙත් ශාලාවේ මාතෘ මාට්ටු සංකීර්ණය සඳහා 1988 නොවැම්බර් මස 28 වැනි දින මුල් ගල් තබන ලදි.ඒ එකල ආණමඩුව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය මෙන්ම වර්තමාන වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතාගේ ආරාධනයෙන් එවකට වයඹ පලාතේ ප්‍රධාන ඇමති ධුරය දැරූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසිනි.එම වාට්ටු සංකිර්ණය නම් ඉදි විය.නමුත් ඉන් ගන්නා ප්‍රයෝජනයක් නැත.
එමෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනා සම්පත ලොතරැයියේ අනුග්‍රහයෙන් තවත් වාට්ටු සංකිර්ණයක් සඳහා මුල් ගල් තබන ලදි.ඒ දිවංගත අමාත්‍ය ද.මු.දසනායක මහතාගේ ආරාධනයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා අතිනි.2006 මාර්තු මස 11 වැනි දින තබන ලද එම මුල් ගල වෙනුවෙන් ස්ථාපනය කර ඇති සිහිවටන ඵලකයේ සඳහන් වන්නේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම සඳහා තවත් වාට්ටු සංකිර්ණයක් ඉදිවන බවකි.නමුත් එවැනි වාට්ටු සංකිර්ණයක් මෙතෙක් ඉදිවී නැත.ඉදි කිරීම් අතර මග නවතා ඇති එම සංකීර්ණය වල් බිහි වෙමින් පවතී. මෙම මධ්‍යම බෙහෙත් ශාලාවට ඇති ප්‍රධාතම ගැටළුව වී ඇත්තේ ස්ථීර වෛද්‍යවරයෙකු නොමැතිකමය. ආවරණ කටයුතු සඳහා යොදා ඇති වෛද්‍යවරයාද ස්ථීරවම පැමිනෙනවාද නැද්ද යන්න දන්නේ ඔහු පමණකි.මේ නිසා ප්‍රතිකාර පතා පැමිණෙන රෝගීන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙයි.උදේ රැයින් අවදි වී රෝහල කරා එන්නටත් ආපසු යන්නටත් පමණක් මුදල් අතේ තියාගෙන එන අසරණයින්ට වෛද්‍යවරයා නොමැති වූ විට ආපසු යන්නට තැනක් නැත.පුද්ගලිකව ප්‍රතිකාර ගන්නට අත මිට සරු නැත.අවසානයේදී ඔවුන්ට ඉතිරි වන්නේ දෙවියන්ගේ පිහිට යැදීම පමණකි.

මෙම මධ්‍යම බෙහෙත් ශාලාව ඉදි කර ඇත්තේ ආණමඩුව සහ හලාවත රෝහල් වලට මැදිවය.පල්ලම ප්‍රදේශවාසීන් ආණමඩුව හෝ හලාවත රෝහල් කරා යන්නට නම් තවත් සැතපුම් 14 බැගින් යා යුතුය.එම නිසාම මෙම ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් දරු ප්‍රසුත කටයුතු සඳහා ආණමඩුව හෝ හලාවත රෝහල් වලට කල් තියාම යාම පුරුද්දක් කර ගෙන ඇත.ඊට හේතුව වී ඇත්තේ නේවාසික වෛද්‍යවරයෙකු තම මධ්‍යම බෙහෙත් ශාලාවේ නොමැතිකමය.

 වෛද්‍යවරයෙකු නේවාසික වන්නේ නම් ඒ සඳහා නිළ නිවාසයක්ද ඇත.නමුත් එහි කිසිවෙකුත් වාසය නොකිරීම නිසා නිළ නිවස වල් බිහි වන්නට ඉඩ හැර ඇති බවක්ද දක්නට ඇත.එමෙන්ම මධ්‍යම බෙහෙත් ශාලාවට ජලය සැපයීම සඳහා ඉදි කර ඇති ළිඳද අතහැර ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න දන්නේ වගකිව යුත්තක් පමණකි.

 රටක් සංවර්ධනය වන්නට නම් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටිය යුතුමය.නමුත් සිහිවනට පුවරු වලට පමණක් සීමාවී ගොඩනැගිළි වල් බිහිවන මධ්‍යම බෙහෙත් ශාලාවකින් එය අපේක්ෂා කළ හැකිද?පල්ලම ප්‍රදේශයේ ජනතාව අපේක්ෂා කරණ සෞඛ්‍ය සම්පන්න යුගය කවදා උදාවේවිද?

වත්මත් වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා වාසය කරණ ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශය තුළම මෙවැනි මධ්‍යම බෙහෙත් ශාලාවක් අති බවද අපි අවධාරණය කරමු

ජුඩ් සමන්ත
ලක්බිම ඇසුරින් පලකරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all