Photobucket

Tuesday, December 4, 2012

අගවිනිසුරුවරියට විනිසුරු සහාය

කොළඹට රැස්වූ ශ්‍රී ලංකාවේ එකසිය පණහකට අධික විනිශ්චයකාරවරුන් පිරිසක් දෝෂාභියෝගයට මුහුණ දී සිටින අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකට සහයෝගය පළ කරන බව ප්‍රකාශ කරති.
අග්‍ර විනිශ්චයකාර නිල නිවසේදී රැස්වූ මහේස්ත්‍රාත්වරුන්, දිස්ත්‍රික් විනිශ්චයකාරවරුන් සහ මහාධිකරණ විනිශ්චයකාරවරුන් විසින් පැය දෙකකට අධික කාලයක් මුළුල්ලේ කරන ලද සාකච්ඡාවලින් අනතුරුවයි, එම තීන්දුව ගෙන තිබෙන්නේ.

තත්ත්වය සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය හමුවී සාකච්ඡා කළ යුතු බවට ඉරිදා පැවති විනිශ්චයකාරවරුන්ගේ විශේෂ සභා රැස්වීමකදී එකඟත්වයකට පැමිණ තිබේ.

කථානායකට නොතීසි

අගවිනිසුරුවරියට විනිවිද භාවයකින් යුත් පරීක්ෂණයක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කිරීමටද රැස්වීමේදී තීන්දු කෙරුණු බව සාකච්ඡාවට එක්ව සිටි එක විනිශ්චයකාරවරයෙක් මාධ්‍යවේදී කේ එස් උදයකුමාර්ට ප්‍රකාශ කළේය.

මේ අතර දෝෂාභියෝග චෝදනා විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අගවිනිසුරුවරිය කැඳවා විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට තර්ක කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය පළ විය.

ඉන් අනතුරුව පෙත්සමට අදාලව විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන මෙන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් නම් කොට තිබෙන කථානායකවරයා සහ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් එකොලොස් දෙනාට නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ජනවාරි 11 වැනි දින දක්වා කල් තැබීය.

බීබීසී වෙබ් අඩවිය ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all