Photobucket

Tuesday, December 4, 2012

ප්‍රථම තරගයේදී ශ්‍රී ලංකාව මාලදිවයිනට පරාජය වෙයි

  • ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන සිවුකොන් පාපන්දු තරගාවලිය
  • මාලදිවයින ගෝල් 3 යි-ශ්‍රී ලංකාව ගෝල 0 යි
ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන වයස අවුරුදු 23න් පහළ දකුණු ආසියානු සිව්කොන් පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (3දා) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකාව 3-0කින් මාලදිවයිනට පරාජය විය. මෙම තරගාවලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. ශ්‍රී ලංකා - මාලදිවයින් තරගයේදී ශ්‍රී ලංකාවට ගෝල් ලබා ගැනීමට තිබුණු අවස්ථාවන් කිහිපයක්ම මග හැරී යාම මෙහිදී කැපී පෙනුණ සිදුවීමක් විය. තරගයේ ප්‍රථම භාගයේදී මාලදිවයින කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට අබ්දුල් අසදුල්ලා සමත් වූ අතර, ඉන් අනතුරුව තරගයේ වැඩි වාසිය මාලදිවයින සතුකර දෙමින් දෙවැනි ගෝලය වාර්තා කිරීමට යස්මින් මූසා සමත් විය. 

ගෝල 2-0ක් ලෙස පෙරමුණේ පසුවෙමින් ජයග්‍රාහී මානසිකත්වයකින් මාලදිවයින් ක්‍රීඩකයෝ දෙවැනි භාගයට අවතීර්ණ වූහ. මාලදිවයින් නායක අහුමන් අසාන් විසින් දඬුවම් පහරක් එල්ල කරමින් මාලදිවයිනට තවත් ගෝලයක් ලබා දෙමින් තරගය ගෝල් 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඊයේ දෙවැනි තරගය ලෙස පැවැති බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගයෙන් ගෝල් 1-0ක් ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. 
 
පාකිස්තානය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබා ගැනීමට ෂහීඩ් අහමඩ් සමත් විය. තරගාවලියේ මීළඟ තරග හෙට (5දා) නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර, ඉන් පළමු තරගය ලෙස පස්වරු 2.00ට පාකිස්තානය සහ මාලදිවයින අතර පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පස්වරු 4.00ට ආරම්භවේ.
 
අනුර දිසානායක - නාවලපිටිය විශේෂ
ලක්බිම ඇසුරින් පලකරන ලදී.

 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all