Photobucket

Tuesday, December 4, 2012

තේරීම් කාරක සභාවට එරෙහි පෙත්සම ඉවත දමයි

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කමිටු සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයන් වන ඇමැතිවරු හය දෙනකු එම කටයුතුවල නිරතවීමෙන් වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ගාස්තු රහිතව ඊයේ (03) නිෂ්ප්‍රභ කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විය යුතු මේ කමිටුවෙහි සාමාජිකයන් ලෙස කැබිනට් ඇමැතිවරුන්ට කටයුතු කළ නොහැකි බවට මේ පෙත්සම මඟින් කරුණු දක්වා තිබිණි.

විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් හේතුවක් නොමැත යන පදනම මත මේ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලදී.

නිමල් ගාමිණී අමරතුංග, ප්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මේ පෙත්සම කැඳවන ලදී.

නීතිඥවරයකු වන චිත්‍රානන්ද ලියනගේ විසින් මේ පෙත්සම ගොනුකර තිබුණි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙහි සභාපති ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, සුසිල් පේ‍්‍රමජයන්ත්, රාජිත සේනාරත්න, විමල් වීරවංශ මහත්වරු සහ නීතිපතිවරයා පෙත්සම මගින් වගඋත්තරකරුවෝ කර සිටියහ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත් සිං මහතා කියා සිටියේ මේ දෝෂාභියෝගය විමර්ශනය කරන තේරීම් කාරක සභාවෙහි සාමාජිකයන් ලෙස පත්කර ඇති හයදෙනකු කැබිනට් මණ්ඩල සාමාජිකයන් වන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වන කමිටුවක සාමාජිකයන් ලෙස කටයුතු කළ නොහැකි බවය. කැබිනට් මණ්ඩලය යනු විධායක ක්‍රියාවලියෙහි කොටසකි. අධිකරණ විනිශ්චය කටයුතු විධායකයෙන් සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ. විනිසුරුවරයකු සම්බන්ධයෙන් විනිශ්චය කිරීමේ බලයක් කැබිනට් ඇමැතිවරුන්ට නැතැයි පෙත්සම්කරුගේ නීතිඥවරයා කියා සිටියේය.

එසේම මේ දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගියහොත් අධිකරණයෙහි ස්වාධීනත්වය නැති වේ. එවිට නීතිඥවරයකු ලෙස කටයුතු කිරීමට තමන්ට ඇති අයිතිය අහිමි වේ. එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ඔහු කරුණු ඉදිරිපත් කෙළේය.

මේ පෙත්සමට විරෝධය පළ කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා කරුණු ඉදිරිපත් කෙළේය.

ව්‍යවස්ථාවෙහි (107) වගන්තිය අනුව දෝෂාභියෝගය විමර්ශනය කිරීම සඳහා සාමාජිකයන් ලෙස පත්කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරෙනි. ඒ අනුව මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ සඳහා පත්කරන බවට කතානායකවරයා සඳහන් කර තිබේ. ඒ අනුව කමිටු සාමාජිකයන් පත්කර ඇත්තේ මන්ත්‍රීවරුන් ලෙස මිස ඇමැතිවරුන් ලෙස නොවේ. එසේම කැබිනට් ඇමැතිවරයකු ලෙස පත් වූ විගස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේය හෝ එයට හිමි වගකීම්, වරප්‍රසාද අහිමිවන බවට කිසිදු සටහනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන්ව නැත. මේ නිසා පෙත්සම්කරු සඳහන් කරන කරුණුවලට කිසිදු නීතිමය පදනමක් නැතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කෙළේය.

එසේම මේ ඇමැතිවරුන් හයදෙනා හැර සෙසු කමිටු සාමාජිකයන්ට කාරක සභාවෙහි කටයුතු කරගෙන යා හැකි පරිදි නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු කර ඇති ඉල්ලීම පිළිගත නොහැකි බව ඒ මහතා සඳහන් කෙළේය.

එසේම මේ වගඋත්තරකාර සාමාජිකයන් හයදෙනා විසින් සිදුකරන විමර්ශන කටයුතු, තීන්දු තීරණ සහ නිර්දේශ බල රහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

එලෙස බල රහිත කරන අතුරු නියෝගයක් නිකුත් කළහොත් ඇතැම්විට දෝෂාභියෝගයට බඳුන්වන විනිසුරුවරයා නිවැරදි බවට තීරණය වුවහොත් එම තීරණය ද බල රහිත වනු ඇති බවට ඒ මහතා කියා සිටියේය.

පෙත්සම්කරු පූර්ව විනිශ්චයකින් මේ පෙත්සම ඉදිරිපත් කර ඇති අතර වරදකරු වීමේ හෝ නොවීමේ හැකියාවන් දෙකක් විමර්ශනයකදී ඇති බව පෙත්සම්කරු අමතක කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කෙළේය.

මේ අතර මේ දෝෂාභියෝග ක්‍රියාවලියට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සීමාවන්ට යටත්ව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.

පෙත්සම මගින් පෙන්වා දෙන කරුණු විභාග කිරීමේ බලයක් අධිකරණයට නොමැති බව පවසමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් බිම්බා තිලකරත්න මහත්මිය විරෝධය පළ කළාය. පෙත්සම් විභාගය ජනවාරි මස 21 දින සිදුකිරීමට ඬයම වූ අතර විරෝධතා සති 4කදී ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කෙරිණි.

පාර්ලිමේන්තු කතානායකවරයා, තේරීම්කාරක සභා සාමාජිකයන් සහ නීතිපතිවරයා පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වූහ.

නීතිඥ විජිත් සිං මහතා ප්‍රතික්ෂේප වූ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ් මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙහි පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේය. 

දිනමිණ ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all