Photobucket

Friday, December 14, 2012

මගේ පෙම්වතාටත් සතුන් සමග ඉන්න පුරුදු වෙන්න වේවි

නාගයින් ආරක්ෂා කිරීම මිසක් වඳකර විනාශයට පත් කිරීමේ අරමුණක් තමාට නැතැයි “කොල්ලුපිටිය නයි නළඟන” හෙවත් නිරෝෂා විමලරත්න අප හා පැවැසුවාය. අගෝස්තු මාසයේ අවසාන දිනයකදී නයෙක් සමග අත්අඩංගුවට පත් වූ ඇය ළඟ සිටි නාගයා අධිකරණ නියෝගයක් මත දෙහිවල සතුන්වත්ත භාරයට පත් කර තිබිණි. නාගයා මැයගෙන් වෙන්කර සතුන් වත්තට භාරදුන් දිනයේ කෙසේ හෝ තමාගේ නාගයාද නැවතත් තමන් භාරයට ගන්නා බව මාධ්‍ය අමතමින් ඇය කීවාය.

 ඒ සඳහා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර පසුගිය 06 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණු එම නඩුවෙන් තීන්දු වූයේ දෙහිවල සතුන්වත්ත භාරයේ සිටින නාගයා රුපියල් පනස් දහසක බැඳුම් කරයක් මත අයිතිකාරිය යැයි පවසන නළඟනට මුදාහරින ලෙසයි. ඒ අනුව පසුගිය 11 වැනිදා දෙහිවල සතුන් වත්ත භාරයේ සිටි නාගයා නැවත ඇයට හිමිවිය.  

දේශීය සත්වයන් ළඟ තබාගැනීම වරදක් බවට නීතියෙන් දක්වා තිබියදී පරිසර සංවිධාන හා සත්ව සංවිධාන සමග සටන් කර තම සුරතල් නාගයා තමන් ළඟට ගත් ඇය සමග මොහොතක් කතා කිරීමේ අවස්ථාව අපට හිමිවිය. ඒ ඇය නර්තනයේ යෙදෙනවා යැයි කියන සමාජ ශාලාවේදීය.

නයි පැටියාට සතුන් වත්තේදී කුකුල් පැටව් පවා කෑමට දුන් බව කීවත් සිය නයි පැටියා කුකුළු පැටියෙක් ආහාරයට ගැනීමට හැකි තරම් විශාල නොවන බව ඇය පවසයි. නයි පැටියාට සතුන්වත්තේදී බලහත්කාරයෙන් කැවීමට යාම නිසා ඇති වූ තුවාල දක්නට ලැබෙන නිසා එහිදී තම සුරතලා හොඳින් කාලය ගත කළා යැයි තමා නොසිතන බවද ඇය කීවාය. 

“නයි පැටියාගේ ඔළුවේ නිය‍පොතු පාරක් තිබුණා. හොම්බත් ‍පොඩ්ඩක් තුවාල වෙලා. බලහත්කාරයෙන් කවන්න ‍පොවන්න හදන විට වුණු තුවාල වෙන්න ඇති.” ඇය පවසයි. ඇයට මේ නයි පැටවා සමග, නයි පැටවා හමුවූ පිළිමතලාවේ දොඩම්වල දේවාලයට යාමට ‍පොලීසිය අවස්ථාව නොදෙන නිසා නයි පැටවා නැවතත් මව් නැයින වෙතට යැවීමට නොහැකි තත්ත්වයක් තිබෙන බවද ඇය කියයි.


මේ නයි පැටවාගේ මව කොළඹ ගෙනත් මට විශ්වාසවන්ත කෙනෙක් ළඟ තැබුවා. මට ඇයත් විශේෂයි. ආරක්ෂාවට තියපු කෙනත් විශේෂයි. ඇය පවසන ආකාරයට මේ වන විට මව් නැයිනද කොළඹට ගෙනැවිත්ය. මේ ආකාරයට නයි දෙදෙනෙක් ළඟ තබා ගැනීම නිසා ඔවුනට හිංසාවෙනවා නේදැයි ඇයගෙන් විමසූ විට ඇය පවසන්නේ ඔවුන් මුදා හැරීම කළ නොහැක්කක් බවයි.

මුදාහරිනවා කියා කොහේ ගෙනිහින් දැම්මත් මේ දෙදෙනා මාව හොයාගෙන එනවා. ඇය පවසන්නේ එවැනි කතාවකි. නිරෝෂාගේ මව ඉන්දියානු ජාතික කාන්තාවක් යැයි ඇය කියයි. ඇය ඉන්දියාවේ නාසික් ප්‍රදේශයේ ජීවත්වන අතර පියා ඉරාන ජාතිකයෙකි. ඇය පවසන ආකාරයට ඇගේ මව සතුවද විෂ විදින උග්‍ර විෂ සහිත නාගයෙක් සිටියි. ඇය ලංකාවට ගෙනවිත් භාරදී ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි විමලරත්න නම් තැනැත්තෙකුටය. ඇයට මෙම නාගයාගේ මව මුලින්ම හමුවී ඇත්තේ ‍පොලීසියෙන් ඇයට ඇතුල්වීමට ඉඩ නොදෙනවා යැයි කියන දේවාලයේදීය. මව් නැයින විසින් ඇයට හිමිකර දුන් නාගයාගේ විෂදළ ගලවා ඇත්තේ ඇගෙන් නයා වෙන් කළ අවස්ථාවත් ඇයට නයා නැවත භාර දෙන අවස්ථාවත් අතරතුරදීය. 

ඕනෑම නාගයෙකුගේ විෂ දළ අයින් කළ විට මාස තුනක් ඉක්ම යන්නට මත්තෙන් නැවත විෂ දළ එන බවද ඇය පවසයි. මේ වන විට ඉරාන ජාතික තරුණයෙක් මැය හා විවාහ වීමේ අපේක්ෂාවෙන් ඇසුරු කරයි. ඇගේ පෙම්වතා වන එම තරුණයා නයා දුටු විට පැන දුවන බවත් ඔහුට සතුන් සමග සිටීමට පුරුදු විය යුතුව ඇති බවත් ඇය පවසයි.     
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all