Photobucket

Sunday, December 2, 2012

කාන්තා රෝග හඳුනා ගන්නා ස්‌කෑන් පරීක්‌ෂණය

කාන්තා රෝග වලදී නිතරම සිදුකරනු ලබන පරීක්‌ෂණයකි මෙම අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් පරීක්‌ෂණය. මෙම පරීක්‌ෂණය විවිධාකාර වලින් සිදු කෙරේ. කෙසේ වෙතත් මෙහිදී සිදුවන්නේ Ultra Sound හෙවත් මනුෂ්‍ය කණට නොඇසෙන පරාසයක පිහිටි ශබ්ද කිරණ උපකරණයක ආධාරයෙන් නිකුත් කිරීම සහ එම කිරණ ආපසු හැරී එන විට ඒවා වාර්තා කිරීමය. 

මෙම කිරණ දියර සහ සිනිදු පටක හරහා නිදහසේ ගමන් කරන අතර ඝනකමින් වැඩි පටක හමු වූ විට ආපසු හැරේ. උදාහරණයක්‌ වශයෙන් රුධිරය හරහා නිදහසේ ගමන් කරන කිරණද හෘද වස්‌තු කපාට හරහා පහසුවෙන් ගමන් කරන්නේ නැත. වැඩි කොටසක්‌ ආපසු හැරෙන විට එම ආපසු හැරී එන කිරණ හඳුනා ගැනීමට කොටසක්‌ උපකරණයේ ම ඇත. මෙසේ එන කිරණ මගින් ශරීර අභ්‍යන්තරයේ ඇති දර්ශනය රූපවාහිනී දර්ශන තලයක්‌ මත පෙන්නුම් කෙරේ. මෙම පරීක්‌ෂණය සිදු කරනු ලබන්නේ ඒ පිළිබඳ මනා දැනුමක්‌ ඇති වෛද්‍යවරුන් මගිනි. ඔවුන්ට මෙම රූප රාමු දැකීමෙන් අභ්‍යන්තරයේ ඇති තත්ත්වය පිළිඹිබු කර ගැනීමේ හැකියාවක්‌ ඇත. 

එනම් ශරීර අභ්‍යන්තරයේ ඇති අවයව හරහා මෙම කිරණ ගමන් කිරීමේ ප්‍රවණතාවය දැනගත හැක. එමගින් එම ව්‍යqහයන්හි ඝනත්වයේ වෙනසක්‌, ප්‍රමාණයේ වෙනසක්‌ සහ පිහිටීමේ වෙනසක්‌ හඳුනා ගත හැක. මෙම පරීක්‌ෂණ ක්‍රමය දැනට දශක කීපයක සිට වෛද්‍යවරුන් අතර ඉතා ජනප්‍රිය පරීක්‌ෂණයක්‌ වශයෙන් භාවිත කෙරේ. මෙය අනෙක්‌ අධි තාක්‌ෂණික පරීක්‌ෂණවලට සාපේක්‌ෂව මිල අඩු පරීක්‌ෂණ ක්‍රමයක්‌ වන අතර මෙය ජංගම පරීක්‌ෂණයක්‌ වශයෙන්ද සිදු කිරීමට පහසුකම් ඇත. මෙවැනි කිරණ භාවිතා කර සිදු කරන වෙනත් පරීක්‌ෂණ වන MRI ස්‌කෑන් පරීක්‌ෂණය සහ CT ස්‌කෑන් පරීක්‌ෂණය මීට වඩා මිලෙන් අධික පරීක්‌ෂණයන්ය. වෛද්‍යමය තත්ත්වයන් යටතේ සිදුවන මෙම පරීක්‌ෂණයෙන් රෝගීන්ට ඇති අතුරු ආබාධ ඉතාම අවම බව සොයාගෙන ඇත. 

නමුත් මෙම පරීක්‌ෂණය නිසා වෛද්‍ය විද්‍යාවට ඇති වාසීන් අපමණය. එබැවින් මෙය ආරක්‌ෂාකාරී පරීක්‌ෂණයක්‌ ලෙස පිළිගැනේ. ගර්භනීය සමයේදී මෙම පරීක්‌ෂණය බහුලවම භාවිත වේ. සති 24 ට පෙර සිදු කරන ගර්භනී පරීක්‌ෂණය දරුවා පිළිබඳ බොහෝ කරුණු සහ දළ වශයෙන් දරු උපත සිදුවන කාලය සහ මවට ඇතිවිය හැකි වෙනත් අතුරු ආබාධ පිළිබඳ පූර්ව දැනුමක්‌ ලබා ගැනීමට උපකාරී වේ. දරුවාගේ වර්ධනයේ බාලවීමක්‌ ඇත්නම් (අඩුපාඩු) මෙම පරීක්‌ෂණයෙන් ඒ ගැන දැනගත හැක. තවද පිළිසිද ඇති දරුවන් ගණන, ඔවුන්ගේ හෘද ස්‌පන්දනය, ඔවුන්ගේ ස්‌ත්‍රී පුරුෂ භාවය පවා දැකගත හැක. නමුත් මෙම දත්තයන් ලබා ගන්නේ උපකරණයක භාවිතයෙන් වන බැවින් කලාතුරකින් ලැබෙන තොරතුරුවල සාවද්‍යභාවයක්‌ ඇති වීමට ඉඩ ඇත. එබැවින් මෙම පරීක්‌ෂණ, ඒ පිළිබඳ මනා අවබෝධයකින් යුත් වෛද්‍යවරුන් විසින් පමණක්‌ සිදු කළ යුතුය. මේ හැර වෙනත් උදර අභ්‍යන්තරයේ ඇතිවන රෝගී තත්ත්වයන් සඳහා ද මෙම පරීක්‌ෂණ ප්‍රයෝජනවත් වේ. අක්‌මාව, පිත්තාශය සහ වකුගඩු ආශ්‍රිත රෝග සඳහා බහුලවම මෙම පරීක්‌ෂණය භාවිත වේ. තයිරොයිඩ් හෝ පියයුරු තුළ පිහිටා ඇති සැක සහිත කුඩා කෝෂ්ඨිකාවන් තුළට කටුවක්‌ ඇතුළු කර එහි ඇති තරලය පිටතට ගෙන පරීක්‌ෂා කිරීම සඳහා ස්‌කෑන් පරීක්‌ෂණයේ උපාකරය ලබා ගැනේ. තවද වෘෂණ කෝෂ අවට ඇති රුධිර නාල වල නහර ගැට ගැසීමේ තත්ත්වය ඇති විට ඒ පිළිබඳ සොයා බැලීමටද මෙම පරීක්‌ෂණය උපකාර වේ. තවද මෙම උපකරණයට සම්බන්ධ ඩොප්ලර් (Doppler ) නැමති කොටස භාවිත කිරීමෙන් අවයවයන්හි රුධිර ගැලීම සිදුවන අයුරු වටහාගත හැක. අල්ට්‍රා සවුන්ඩ් පරීක්‌ෂණය සිදුකරන ආකාර කීපයක්‌ ඇත. 

උදරය තුළ ඇති අවයව පරීක්‌ෂා කිරීමට උපකාර වන කොටස වෙනම එම උපකරණයට සවිකර ඇත. උදරය තුළ අවයව බැලීම සඳහා මුත්‍රාශයෙහි මුත්‍රා පිරී තිබීම අවශ්‍ය වේ. එබැවින් එවැනි පරීක්‌ෂණයක්‌ කිරීමට , පැය කීපයක්‌ මුත්‍රා පිට නොකර සිටිය යුතුය. සමහර පරීක්‌ෂණ සඳහා පැය කීපයක්‌ ආහාර සහ දියර වර්ග ගැනීමෙන් වැළකී සිටිය යුතුය. ස්‌කෑන් පරීක්‌ෂණ කිසිසේත් වේදනාවක්‌ ඇති නොවන පරීක්‌ෂණයන් ය. නමුත් සමහර විට ශරීරය තුළට උපකරණ ඇතුළු කර පරීක්‌ෂණ සිදු කරන විට අපහසුතාවයන් දැනිය හැක. එනම් යෝනි මාර්ගය හරහා හෝ ගුද මාර්ගය හරහා සිදු කරන පරීක්‌ෂණයන් ය. උපකරණයට විශේෂිත වූ ජෙල් (Gel) වර්ගයක්‌ මේ අවස්‌ථාවේ භාවිත කරනු ලැබේ.

වෛද්‍ය චම්පා නෙල්සන්


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all