Photobucket

Saturday, December 1, 2012

කච්චේරි ගින්න ස්වභාවික එකක් නොවේ රස පරීක්ෂක සැක මතුකරයි

කොළඹ දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය ගිනි ගනිමින්  එහි වහලයෙන් දුම් පිටවන අවස්ථාවේදී අගුළු විවර කර එම ගින්න මැඩලීමට එදින රාත්‍රියේ එහි සේවය කළ මුරකරු ඇතුළු සේවකයන් පියවර නොගැනීම මේ වන  විට ගැටලුවක් වී තිබේ.

කොළඹ දිස්ත්‍රික් ‍ලේකම්කාර්යාලය වසා දැමීමෙන් අනතුරුව එහි යතුරු ආරක්ෂිතව තැබෙන්නේ ඒ අසලම ඇති වේල්ල වීදිය ‍පොලිස් ස්ථානයේය. ගින්න  දැනගත් වහාම එය පිටතින් නිවා දැමීමට වෙහෙසනවා වෙනුවට ‍පොලිසිය මෙන්ම එහි මුරකරු ඇතුළු සේවකයන් කිසිවෙකු දොරගුළු විවර කර ගින්න නිවා දැමීමට උත්සාහයක් දරා නැත.

ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ‍පොලිස් කණ්ඩායම් සඳහන් කරනුයේ ගිනි නිවීමේ අංශ දොරගුළු කඩා දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයට ඇතුළු වී ඇති බවය. ඒ වන විට ගින්න දරුණු අතට පත්ව තිබි ඇත. මුල් අවස්ථාවේදීම දොරගුළු හැර ඇතුළතින් ගින්න නිවා දැමීමට පියවර ගත්තේ නම් එතරම් හානියකින් තොරව ගින්න නිවා දැමීමට හැකියාව තිබි ඇත.

මේ අතර එම ගින්න සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත් වූ විදුලි ඉංජිනේරුවරිය සඳහන් කරනුයේ විදුලි කාන්දුවකින් එම ගින්න ඇති වූවාද නැද්ද යන්න  තමාට නිශ්චිතව නිගමනයකට එළඹිය නොහැකි බවය. කළ විමර්ශනයේදී ඔවුන්ගේ අදහස වී ඇතැයි පැවැසෙන්නේ, මෙතරම් විශාල ගින්නක් එකවරම ස්වභාවිකව ඇතිවිය හැකිද යන්නය. නමුත් ඔවුන් තවමත් නිල වශයෙන් කිසිවක් සඳහන් කර නැත. ගින්න හටගත් ස්ථානයෙන් ලබාගත් සාම්පල් රසායනාගාර පරීක්ෂාවකට යොමුකර ඉදිරියේදී යම් නිල ප්‍රකාශයක් නිකුත් කරනු ඇත.

මෙම ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් එය කරන්නට ඇත්තේ කවුරුන්දැයි යන්න පිළිබඳවද ‍පොලිසිය මේ වන විට කරුණු අධ්‍යයනයක නිරතව සිටී. ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සිදුවී ඇතැයි පැවැසෙන දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය මගින් කරනු ලබන විමර්ශනයක් ඒ අතර ‍පොලිසියේ වඩාත් අවධානයට යොමු වී තිබේ. ඊට අදාළ විමර්ශන ගොනු ගින්නෙන් පිළිස්සී තිබේද? නැතිනම් එම ගොනු සුරක්ෂිතව තිබේද? යන්න පිළිබඳව කිසිවක් අනාවරණය නොවේ.
 
ගයාන් කුමාර වීරසිංහ 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all