Photobucket

Monday, December 3, 2012

වෘත්තීය සමිති ගණනාවක් හෙට සිට වර්ජන හා විරෝධතාවල

ගුරු - විදුහල්පති - දුම්රිය - ලංගම - පෞද්ගලික ඇතුළු රැසක්

රට පුරා ගුරු විදුහල්පතිවරුන් දුම්රිය, සෞඛ්‍ය, ලංගම, පෞද්ගලික අංශ ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක සේවකයෝ වැටුප් අර්බුද, වෘත්තීය අයිතීන් කප්පාදු කිරීම ඇතුලු ගැටලු ගණනාවක් මුල් කරගනිමින් හෙට (04) සිට එක් දින වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා, ජනතාව දැනුම්වත් කිරීම ඇතුළු වෘත්තීය ක්‍රියා මාර්ග රැසක් ආරම්භ කිරීමට සූදානමින් සිටිති. ඒ අනුව දිවයින පුරා ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව හෙට (04) ලෙඩ නිවාඩු වාර්තා කර, සේවයෙන් ඉවත් වීමේ එක් දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ‍ලේකම්, මහින්ද ජයසිංහ මහතා “ලක්බිම”ට කීය. අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත ගුරු විදුහල්පති අතුරු වැටුප් යෝජනාව හිඟ වැටුප් සහිතව ක්‍රියාත්මක කිරීම, හිඟ වැටුප්, ආපදා ණය ඇතුළු ගුරු විදුහල්පතිවරුන්ට ලැබිය යුතු සියලු ගෙවීම් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගැනීමට තීන්දු කර තිබේ. ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, සමස්ත ලංකා විදුහල්පති සංගමය ඇතුළු ප්‍රබල පෙළේ ගුරු විදුහල්පති සංගම් 16ක් මෙයට එක්ව සිටියි. 

අංක 6/2006 චක්‍ර‍ලේඛය මගින් මතු වී ඇති ගැටලු නිරාකරණය නොකිරීම, වසර 3ක් පුරා ආපදා ණය නොදීම දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු 9000කට වඩා අධිකව තිබියදීත් එම පුරප්පාඩු නොපිරවීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයෝ ඉදිරි දින කිහිපය ඇතුළත වෘත්තීය ක්‍රියා මාර්ගයකට සූදානමින් සිටින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ ‍පොදු සේවක සංගමයේ ප්‍රධාන ‍ලේකම් සුමතිපාල මානවඩු මහතා කීය. ආණ්ඩුව විසින් හෙද සේවාව පළාත් සභාවට පැවැරීමට නිකුත් කළ අංක 1779 දරන ගැසට් පත්‍රය හකුළා දමන ලෙසට ආණ්ඩුවට බල කරමින් සහ අතිකාල දීමනා වැඩි නොකිරීම ඇතුළු ඉල්ලීම් 8ක් සෞඛ්‍ය සේවක අයිතීන් කප්පාදු කිරීමට එරෙහිවද රට පුරා හෙද හෙදියන් මෙම 17,18 දිනවල අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වීමට තීන්දු කර තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ‍ලේකම්, හෙද නිලධාරී එස්. මැදිවත්ත මහතා කීය. රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය ඇතුළු සියලු සේවකයන්ට රුපියල් 10,000කින් වැටුප් වැඩි කරන ලෙසත්, පුද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 10,000ක අතුරු දීමනාවක් සහ වැඩිවන ජීවන අංක ඒකකයක වටිනාකම වන රුපියල් 280 පදනම් කරගෙන, ජීවන අංක දීමනාවක් දෙන ලෙසටත් ආණ්ඩුවට බල කරමින් රට පුරා දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටු පිහිටුවා, සම්මන්ත්‍රණ, උද්ඝෝෂණ, විරෝධතා ඉදිරි දින කිහිපය ඇතුළත ආරම්භ කිරීමට කටයුතු කරන බව නිදහස් වෙළෙඳ කලාප හා ‍පොදු සේවා සේවක සංගමයේ සම ‍ලේකම් ඇන්ටන් මාකස් මහතා කීය. ශ්‍රී ලංගම සේවකයන්ගේ මාසික වේතනය දීමට අවශ්‍ය ප්‍රතිපාදන නොදීමට එරෙහිව වෘත්තීය අරගලයකට අවතීර්ණ වීමට සූදානමින් සිටින බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ‍ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි. 

ගත වූ මාස තුනක කාලයක සිට ශ්‍රී ලංගම ඩි‍පෝවල බහුතර සේවකයන්ට මාසික වේතන දී නැති බවත්, මීගමුව, යටිනුවර, පුත්තලම, අලව්ව, ගිරිඋල්ල ඩි‍පෝවල සේවකයන් වෘත්තීය අරගලයකට අවතීර්ණ වී සිටින බවත් කී ඒ මහතා සඳහන් කර සිටී. ශ්‍රී ලංගම සේවකයන්ට මාසික වේතන සඳහා අවශ්‍ය රුපියල් මිලියන 91ක ප්‍රතිපාදන සෑම මාසයකම අඛණ්ඩව දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවැසීය.
 
පද්මිණි මාතරගේ

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all