Photobucket

Monday, December 3, 2012

මට දැන් එකම සටන ඇත්තේ රාජපක්ෂ රෙජිමය පන්නා දැමීමයි

රාජපක්ෂ රෙජිමය විසින් සූරා කන 99ක් වන මෙරට ජනතාවගේ ආණ්ඩුව පිහිටුවීමේ ගමන මෙවර සම්මේලනයෙන් ආරම්භ කළ බව එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ 54 වන ජාතික මහා සම්මේලනය අමතමින් පෙරේදා (01) ප්‍රකාශ කළේය. රාජපක්ෂ පාලනය හේතුවෙන් සමාජයේ හැම කෙනෙකුම අද දුක් විඳින බව පෙන්වා දුන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, තමාට දැන් ඉතිරිව තිබෙන එකම සටන ඇත්තේ රාජපක්ෂ රෙජිමය පන්නා දැමීම වෙනුවෙන් පමණකැයි ද සඳහන් කළේය. 

පිටකෝට්ටේ පිහිටි සිරිකොත, පක්ෂ මූලස්ථානයේ දී මෙම 54 වන පක්ෂ ජාතික මහා සම්මේලනය පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එදා සීගිරිය විකුණන්න යන බවට තමාට චෝදනා කළත් අදටත් සීගිරිය තිබෙන බවය. එසේම රට විකුණපු රාජපක්ෂ පාලනය මේ වන විට අහසත් පවා විකුණා අවසාන බවය.

යුද්ධයෙන් පසු සහන ඉල්ලූ ජනතාවට රාජපක්ෂ පාලනය දුන්නේ ලැම්බෝගිනි රේසින් කාර් පමණකැයි සඳහන් කළ වික්‍රමසිංහ මහතා ජනතාවට අද වී තිබෙන්නේ බඩගින්නේ සිටිමින් කාර් රේස් බැලීමට බව ද පෙන්වා දුන්නේය.

පදික වෙළෙඳුන්ට, ත්‍රිරොද  රියදුරන්ට රාජපක්ෂ පාලනය යටතේ සුළු මුදලක්වත් ණයට ගැනීමට නොහැකි වුණත්, කොටස් වෙළෙඳ‍පොළේ හොරුන්ට නම් ඇති තරම් ආණ්ඩුවෙන් සල්ලි ලැබෙන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ බහුතරයක් වන කාන්තාවන්ට නිදහසේ පාරේ බැස යන්න නොහැකි තරමට නීතිය කඩා වැටි ඇති ආකාරය ද රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාවේ දී විස්තර කළේය. හැම එකකින්ම හම්බ කරන, හැම තැනම දූෂණය රජ කරවා තිබෙන රාජපක්ෂ රෙජිමයේ අවසානය 2014 දී වන්නේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ලසන්ත වීරකුලසූරිය 
ලක්බිම ඇසුරින් පල කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all