Photobucket

Tuesday, December 11, 2012

ශ්‍රී ලංකාව දෘශ්‍යාබාධිත ලෝක කුසලානයේ අවසාන පූර්ව තරගයට

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත 20යි 20 ක්‍රිකට් ලෝක ශූරතාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම අන්ත පරාජයකට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් පන්දු ඕවර 20 අවසානයේ ලකුණු 360 ක් රැස්කරගත් අතර එයට ප්‍රතිචාර වශයෙන් බංග්ලාදේශ කණ්ඩායම රැස් කළේ ලකුණු 110 ක් පමණයි.
සමස්ත ශූරතාවලියේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ පාකිස්තානය පමණයි. එය ලකුණු 363 ක්.

පූර්ණ දෘශ්‍යාබාධිත ක්‍රීඩක සමන් කුමාර රැස් කළ ලකුණු 92, මධුශංක ලේකම්ගේ රැස් කළ ලකුණු 138 සහ කල්‍යාණ කුමාර රැස් කළ ලකුණු 70 තරගයේ කැපී පෙනෙන අවස්ථාවන්.

බංග්ලාදේශ කණ්ඩායම දුවද්දී වී යාම් පහකට හසුකර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ බවයි, ඉන්දියාවේ සිට බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ කණ්ඩායමේ කළමණාකරු දොන් සරත් කුමාරසිරි ඇතුලත්මුදලි කියා සිටියේ.

සමස්ත තරඟාවලියේදී මේ වනවිට තරඟ අටකට සහභාගි වී එයින් තරඟ හයක්ම ජයග්‍රහණය කිරීමට සමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූයේ ඉන්දියාව සහ පාකිස්තානයට පමණයි.

කෙසේ නමුත් ඉන්දියාවට එරෙහිව ලබන බදාදා පැවැත්වෙන අවසාන පූර්ව තරඟයේදී පළමු තරඟයෙන් අත්දැකීම් උකහාගෙන එය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව කණ්ඩායමේ නායක චන්දන කුමාර සූරියආරච්චි සංදේශයට පැවසීය.

පාකිස්තානය සහ එංගලන්තය අනෙක් අවසාන පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලබා සිටියි.

සමාරම්භක දෘශ්‍යාබාධිත 20යි 20 ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසාන මහා තරඟය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.cricket
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all