Photobucket

Tuesday, December 11, 2012

කල් ඉකුත් රුධිර කට්‌ටල නිකුත් කිරීම රුධිර මධ්‍යස්‌ථාන හිටපු අධ්‍යක්‌ෂිකාව ඇතුළු 28 ක්‌ චෝදනාවලින් නිදහස්‌

2008 වසරේදී රටපුරා ඉමහත් ආන්දොaලනයක්‌ ඇති කළ රුපියල් කෝටි දෙකහමාරක්‌ වටිනා කල් ඉකුත් වූ රුධිර කට්‌ටල රෝගීන්ට නිකුත් කිරීමේ සිද්ධියට චෝදනා ලත් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්‌ථානයේ හිටපු අධ්‍යක්‌ෂිකාව ඇතුළු එම මධ්‍යස්‌ථානයේ කාර්ය මණ්‌ඩල සාමාජික සාමාජිකාවන් 28 දෙනෙකු ඔවුන්ට එරෙහිව පැවැති සියලු චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් කරන ලද නිර්දේශයක්‌ මත මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පැවැසීය. අදාළ කල් ඉකුත් රුධිර කට්‌ටල භාවිත කළ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් කිසිදු රුධිර පරිත්‍යාගශීලියකුට හානියක්‌ සිදුව නොමැති බවට විද්වත් වාර්තාවලින් හෙළිවී තිබීම මත මෙම වගකිවයුතු නිලධාරීන් චෝදනාවලින් නිදහස්‌ කරන ලෙසට රාජ්‍ය සේවා කොමිසම් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබූ බව එම ආරංචි මාර්ග කීවේය.

මේ අනුව "ප්ලාස්‌මා පෙරසිස්‌" හා "ඒ පෙරසිස්‌" යන කල් ඉකුත් වූ රුධිර කට්‌ටල රෝගීන්ට නිකුත් කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ මූලික පරීක්‌ෂණවලදී තහවුරු වී වැඩ තහනමට ලක්‌ව සිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්‌ථානයේ හිටපු අධ්‍යක්‌ෂිකා වෛද්‍ය එම්. බිංදුසාර මහත්මිය ඇතුළු නිලධාරීන් 28 දෙනකු සියලු චෝදනාවලින් නිදොස්‌ කොට ඔවුන්ට එරෙහි සියලු විනය ක්‍රියාමාර්ග අවසන් කර තිබේ.

මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා විසින් රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත දැනුම් දී තිබේ.

අදාළ රුධිර කට්‌ටල භාවිත කිරීම හේතුවෙන් රෝගීන් 13 දෙනකු මියගිය බවට එකල ජනමාධ්‍ය හාරහා අනාවරණය කර තිබිණි.

කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය විසින් 2008 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා නිකුත් කරන ලද වාර්තාවක 3 වැනි වගන්තියෙහි දැක්‌වෙන අදාළ රුධිර කට්‌ටල භාවිත කරමින් රුධිරය ලබා දීමේ ක්‍රියාවලිය අතරතුර හෝ පළමු පැය 72 තුළ අයහපත් ප්‍රතික්‍රියාවක්‌ දක්‌වා නොතිබිණි" යන සඳහන් සැලකිල්ලට ගෙන වගකිවයුතු නිලධාරීන් පිරිස චෝදනාවලින් නිදහස්‌ කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මෙම කල් ඉකුත් වූ රුධිර කට්‌ටල රෝගීන්ට නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධව චෝදනා ලැබ සිටි මුළු නිලධාරීන් සංඛ්‍යාව 38 ක්‌ වන අතර එයට වගකිවයුතු බවට තහවුරු වී සිට හිටපු ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂිකාවට එරෙහිව පැවැති චෝදනා 6 න් 5 ක්‌ම මූලික පරීක්‌ෂණවලදී ඔප්පු වී තිබිණි. ඇයත් සමඟම වැඩ තහනමට ලක්‌වූ ඇතැම් නිලධාරීන් මේ වන විට සේවයෙහි නැවත පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ඒමන්ති මාරඹේ
දිවයින ඇසුරින් පල කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all