Photobucket

Tuesday, December 11, 2012

දෝෂාභියෝග පෙත්සම් අහක දමන්න

රජයේ වෘත්තීය සමිති නායකයෙකුගෙන් පෙත්සමක්‌

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනා විභාග කිරීමට යොදාගත් ස්‌ථාවර නියෝග 78 ඒ ඇතුළු සම්පූර්ණ ක්‍රියාවලියම රටේ පවතින නීතියටත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවටත් අනුකූල යෑයි කියා සිටිමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්. ඩී. පියදාස මහතා ඊයේ (10 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා හෝ විශේෂ තේaරීම් කාරක සභාව හෝ විසින් කෙරෙන කිසියම් ක්‍රියාවක්‌ වළක්‌වාලීමට කිසිදු අධිකරණයකට බලයක්‌ නැති අතර කවර උසාවියකින් කවර නියෝගයක්‌ දෙනු ලැබුවද ඒ දෙපාර්ශ්වය ඒවාට යටත් නැති හා ඒවාට අවනත වීමට බැඳීමක්‌ නැතැයි ද පියදාස මහතා සිය පෙත්සමේ සඳහන් කරයි.

ඔහු මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යොමුවී ඇති අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග චෝදනා විභාග කිරීමට යොදාගත් පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග 78 ඒ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල ද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාගයට මැදිහත්වීමට අවසර ඉල්ලමිනි.

අතරමැදි පෙත්සම්කරුවකු ලෙස එම විභාගයට සම්බන්ධ වීමට තමාටත් අවසර ලැබුණොත් එම ප්‍රශ්නය සම්බන්ධයෙන් තමා දරන ස්‌ථාවරය නීතිඥවරුන් මගින් තවත් විස්‌තර සහිතව ඉදිරිපත් කිරීමට සූදානම් බව ද ඔහු පෙත්සමේ සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි යෑයි කියා සිටීම පදනමක්‌ නැති හිස්‌ තර්කයක්‌ බවත් ව්‍යවස්‌ථා අර්ථකථනයක්‌ දිය යුතු ප්‍රශ්නයක්‌ මෙතැන නැති බවත් කියා සිටින පියදාස මහතා වගඋත්තරකරුවන්ට නොතීසි නොයවාම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණයට නියෝග කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

අදාළ පෙත්සම මේ මස 13 හා 14 දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

සරත් ධර්මසේන
දිවයින ඇසුරින් පල කරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all