Photobucket

Tuesday, December 11, 2012

වීරකැටියේ ක්‍රිස්තියානි දේවස්ථානයකට ප්‍රහාරයක්

වීරකැටියේ ජීවනාලෝක සභාවේ උදෑසන දේව මෙහෙය පැවැත්වුණු අවස්ථාවේ එහි කඩා වැදුණු බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ජාතික ක්‍රිස්තියානි ධර්මධාන සන්ධානය පවසයි.

ඉරිදා උදෑසන එල්ල වූ මෙම ප්‍රහාරයේදී දේවස්ථානයට මෙන්ම දේවස්ථානයට පිටින් නවතා තිබුණු වාහනවලටද බරපතල අලාභ හානි සිදුවූ බව ජාතික ක්‍රිස්තියානි ධර්මධාන සන්ධානයේ ප්‍රකාශිකාවක් බීබීසී සංදේශයට කියා සිටියාය.

"එහෙම වෙන ආගමක නායකයන්ගෙන් අවසර ගන්න කියල ලංකාවේ නීතියේ නැහැ. ලංකාවේ ව්‍යවස්ථාව අනුව ඕනෑම කෙනෙකුට තමන්ගේ ආගම ඇදහීමට අයිතිය තියෙනවා"
ජාතික ක්‍රිස්තියානි ධර්මධාන සන්ධානයේ ප්‍රකාශිකාව

සිය දේවස්ථානය කුඩු කර දමන බවට ඊට පෙර දින එල්ලවූ තර්ජනයකින් අනතුරුව පොලිස් භටයන් කිහිප දෙනකු එහි සේවයේ යොදවා සිටියත් දහසකට අධික පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටි බැවින් ඔවුන් පාලනය කර ගැනීමට පොලීසියට නොහැකි වූ බවයි, ප්‍රකාශිකාව පවසන්නේ.

ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේගේ අනුමැතියකින් තොරව එම ස්ථානයේ ක්‍රිස්තියානි දේවස්ථානයක් පවත්වාගෙන යාමට අවසර දිය නොහැකි බවට සෙනසුරාදා සභා පාලකවරයාට තර්ජන කොට ඇති බව පවසන ජාතික ක්‍රිස්තියානි ධර්මධාන සන්ධානය, එය ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි බවද සඳහන් කරයි.

"එහෙම වෙන ආගමක නායකයන්ගෙන් අවසර ගන්න කියල ලංකාවේ නීතියේ නැහැ. ලංකාවේ ව්‍යවස්ථාව අනුව ඕනෑම කෙනෙකුට තමන්ගේ ආගම ඇදහීමට අයිතිය තියෙනවා," යයි ද ප්‍රකාශිකාව සඳහන් කළාය.
කෙසේ නමුත් බලහත්කාරයෙන් බෞද්ධ බැතිමතුන් ක්‍රිස්තියානි ආගමට බඳවා ගන්නා බවට තම නිකායට කෙරෙන චෝදනාවල කිසිදු සත්‍යයක් නොමැති බවයි, ඇය පවසන්නේ.

1952 දී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද ජාතික ක්‍රිස්තියානි ධර්මධාන සන්ධානයේ දේවස්ථාන 74 ක් ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙන අතර, තමන් ලක්ෂ දෙකකට අධික ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි බැතිමතුන් නියෝජනය කරන බවයි සන්ධානය පවසන්නේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all