Photobucket

Sunday, December 23, 2012

විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට වූ හැටි මෙන්න

පසුගිය කාලයේ  පැවති විභාග රැසක්ම අවසන් වූයේ විශාල ආන්දෝලනයන් ඇති කරමිනි. අගෝස්තු මාසයේ පැවති අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර දෝෂ සහිත බවට නොයෙක් චෝදනා එල්ලවිය. ප්‍රශ්න පත්‍ර වැරදි සම්බන්ධයෙන් ගුරු සංගම් විවිධ චෝදනා එල්ල කළේය. ශිෂ්‍යත්ව විභාගයේ ඇතැම් ප්‍රශ්න  විභාගයට පෙර පිටවී ඇති බවට චෝදනා එල්ලවූයේද ගුරු සංගම් වෙතිනි. එහෙත් එම චෝදනා සියල්ලම අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් විසින්  ප්‍රතික්ෂේප කරනු ලැබිණි. විභාග දෙපාර්තමේන්තුව යනු අධ්‍යාපන ඇමැතිවරයාටවත් බලපෑමක් කළ නොහැකි ස්වාධීන ආයතනයක් බව අධ්‍යාපන ඇමැතිවරයා නිරන්තරයෙන්ම ප්‍රකාශ කළ අතර එම දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට හානි නොකරන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

පසුගිය කාලයේදී විභාග සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳ නොයෙක් ආකාරයේ පරීක්ෂණද නොපැවැත්වුණා නොවේ. විභාග දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර පරීක්ෂණ පවත්වන ලද අතර රහස් ‍පොලිසිය ද පරීක්ෂණ පැවැත්වූවේය. එම පරීක්ෂණ සියල්ලම අවසානයේදී ප්‍රකාශ කෙරුණේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් හෝ විභාග දූෂණ සිදුව නොමැති බවය. එහෙත් පසුගියදා වාර්තා වූ අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය මීට වෙනස් මුහුණුවරක් ගත්තේය.

සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සිසුන් පිළිතුරු දුන්නේ පසුගිය සෙනසුරාදා දිනයේදීය. ප්‍රශ්න පත්‍රය අවසන් වන විට විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණිලි රැසක් ලැබි තිබුණි. එම පැමිණිලිවලින් ප්‍රකාශ කර තිබුණේ සම්පත් අත්තටගේ නමැති උපකාරක පංති ගුරුවරයෙකු  විභාගයට පෙර ලබාදුන් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක සඳහන් ප්‍රශ්න දහ නමයක් සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව ඇති බවයි. මේ අතර ලංකා ගුරු සංගමය ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත විභාග වංචාව සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙසේ පැමිණිලි ඉදිරිපත්වීමත් සමගම විභාග කොමසාරිස් ජනරාල්වරයා අදාළ පැමිණිලි පිළිබඳව රහස් ‍පොලීසියට දැනුම් දුන්නේය. ඒ අතර වාරයේදීම ‍පොලිස්පතිවරයා වෙතද පැමිණිලි කළේය.  වෙනත් වසරවලදී ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් කෙරුණාට වඩා පුළුල් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන්නට වූයේ විධිමත් විමර්ශනයක අවශ්‍යතාව බලධාරීන්ටද  දැනුන නිසා විය යුතුය.

‍පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණයෙන්, සහකාර ‍පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් මේ විමර්ශනය සිදුකරන අතර අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් මේ වන විට දැනගන්නට ඇත්තේ සැබෑ ලෙසම මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාග දෙපාර්තමේන්තුවෙන් පිටව ඇති බවට සාධාරණ සැකයක් ඇති බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම වංචාවට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් සාක්ෂි ඇතිව, අත්අඩංගුවට ගන්නා බව රහස් ‍පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විට අනාවරණය වී ඇති ආකාරයට අනුව විභාග දෙපාර්තමේන්තුවේ විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් තිබි ඇති බවක් පෙනෙන්නට නැත. ඇතැම් ස්ථානවල ආරක්ෂිත කැමරා පද්ධති තිබුණද ඒවායේ දර්ශන පටිගත කිරීම් පවා සිදු නොවන බව අනාවරණය වී තිබේ. කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව රහස් අංශ වෙත ඕනෑම පුද්ගලයෙකු වද්දා ගැනීමද සිදුවන බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

මෙම උපකාරක පංති ගුරුවරයා ආන්දෝලනාත්මක ආදර්ශ ප්‍රශ්න පත්‍රය ලබාදී ඇත්තේ කිරිබත්ගොඩ වාසිටි, බොරැල්ල තිලකරත්නාරාමය, මිනුවන්ගොඩ ශක්ති, රාගම ඕෂධී යන ස්ථානවල පැවැත්වෙන පුද්ගලික පංතිවලදීය. ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ලෙසින් ලබාදුන් බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න විසි හයක් සුවිශේෂී ප්‍රශ්න ලෙස සනිටුහන් කර තිබුණි. ඒ සිනහවෙන මුහුණක රූපයක්  ප්‍රශ්න ඉදිරියෙන් සටහන් කරමිනි.

“සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසට ප්‍රශ්න හතලිහක් තිබෙනවා. එයින් ප්‍රශ්න දහ නමයක්ම මෙම උපකාරක පංති ගුරුවරයා විසින් විභාගයට පෙර පවත්වන ලද සම්මන්ත්‍රණයකදී ලබාදී තිබෙනවා. විභාගයට එන ප්‍රශ්න ඔහු ඒ ආකාරයෙන්ම ලබාදී තිබෙනවා. විභාගයට ලැබෙන බව පෙන්වීමට තමයි ඔහු සිනහ මුහුණු සටහන් කර තිබෙන්නේ.” ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ‍ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි.

උපකාරක පංති ගුරුවරයාට ලැබි ඇත්තේ විභාග ප්‍රශ්න පත්‍රයේ තුන්වැනි හා හතරවැනි පිටු දෙක පමණක් බව පැහැදිලි යැයිද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ‍ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේය. “ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් වන ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍රයේ තුන්වැනි හා හතරවැනි පිටුවල සදහන් වෙන ප්‍රශ්න. ඒ අනුව ඔහුට ලැබිලා තිබෙන්නේ තුන්වැනි හා හතර වැනි පිටු දෙක පමණක් බව පැහැදිලියි.”  

එමෙන්ම විද්‍යාව පිළිබඳ සාමාන්‍ය දැනීම පරීක්ෂා කරන ප්‍රශ්න දෙකද මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍රය මගින් ලබාදී තිබිම විභාග ප්‍රශ්න පත්‍රය පිටවීම පිළිබඳ පැහැදිලි සාක්ෂියක් බව ගුරු සංගම් පෙන්වා දෙයි. “විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තිස් අට හා හතලිහ යන ප්‍රශ්න දෙක සකස් කර තිබෙන්නේ විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනුම ඇගයීම සඳහායි. ඒ අනුව තිස් අටවැනි ප්‍රශ්නයෙන් විමසා තිබුණේ අධිවේගී මාර්ගය සම්බන්ධ කරමින් සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. ඒ වගේම හතලිහ ප්‍රශ්නයේත් තියෙන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න දෙකම ඒ ආකාරයෙන්ම ලබාදීම සැක සහිතයි. එය විභාග ප්‍රශ්න පත්‍රය පිටවුණා කියන එක තහවුරු කරන දෙයක්. ඒ විතරක් නොවෙයි, බහුවරණ ප්‍රශ්නවලදී ලබාදෙන එක් උත්තරයක්  නිවැරදියි, අනෙක් උත්තර තුනම වැරදියි. මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ලබාදී ඇති වැරදි උත්තර තුනත් විභාග ප්‍රශ්න පත්‍රයේ උත්තර හා සන්සන්දනය වෙනවා. ඒ වැරදි උත්තරවත් වෙනස් කරන්නේ නැතිව විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ගෙඩි පිටින්ම දීලා තිබෙනවා.” මහින්ද ජයසිංහ සඳහන් කළේය.

රහස් ‍පොලිසිය  උපකාරක පංති ගුරුවරයාගෙන් අවස්ථා දෙකකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ. එම ගුරුවරයා ‍පොලිසිය හමුවේ පවසා ඇත්තේ අවුරුදු දහනමයක් තිස්සේ උපකාරක පංති ගුරුවරයෙකු ලෙස ඉගැන්වීම්වල යෙදී සිටින බැවින් මෙවැනි ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාදීමට හැකි බවය. පසුගිය වසර දහයේ විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කර,  පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලින් ලබාගන්නා ප්‍රශ්නද ඇතුළත් කරමින් විෂය මාලාවට අනුව ආදර්ශ සහ අනුමාන ප්‍රශ්න සකස් කරන බව ඔහු ‍පොලිසියට පවසා ඇත. නමුත් මෙහි ඇති ඇතැම් ප්‍රශ්න එසේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල හෝ විෂය මාලාවේ නොමැතිවීමත්, මේවා විභාග ප්‍රශ්න පත්‍රයේ අඩංගු වචනවලින්ම තිබිමත් හේතුවෙන් කල් තියා විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ගුරුවරයා අතට පත්ව ඇති බව රහස් ‍පොලීසියට මෙන්ම අධ්‍යාපන බලධාරීන්ටද ඒ වන විටත් තහවුරුවී තිබුණි.

මේ ගුරුවරයා මෙතරම් ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත්තේ විද්‍යුත් මාධ්‍ය ජාලයකින් පවත්වන ලද අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවක දේශකයෙකු ලෙස සහභාගිවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. පසුකාලයේ ඔහු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමග එක්ව ඒ මන්ත්‍රීවරයාගේ ‘අධ්‍යාපන පදනමක්’ හරහා අධ්‍යාපන සම්මන්ත්‍රණ පවත්වා තිබුණි. ළමුන් වැඩි වශයෙන් ඔහු වෙත එන්නේ මාධ්‍ය හරහා ලැබුණු ජනප්‍රියත්වය නිසාය.

ඔහුගේ පංතිවලට පැමිණෙන සිසුන් ප්‍රමාණය වැඩිවත්ම ඔහුගේ ප්‍රශ්න පත්‍ර හා නිබන්ධන සකස් කිරීමේ කාර්යයට සහයකයෙකු ලබාගෙන ඇති අතර එම සහයකයා ප්‍රාථමික පංතිවල විද්‍යාව විෂයය උගන්වන කෙනෙකු බව අනාවරණය වී ඇත. දැනට පෙනී ගොස් ඇති ආකාරයට අනුව අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයද සකස් කර ඇත්තේ එම සහයකයාය. මෙම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීමේ කටයුත්ත භාරදී ඇත්තේ කැලණියේ පිහිටි මුද්‍රණාලයකටය. ඒ ඉකුත් අටවැනිදාය.

මේ අතර සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය සකස් කිරීමට දායක වූ ගුරුවරුන් හයදෙනාගෙන්ද, විභාග දෙපාර්තමේන්තුවේ  අදාළ ප්‍රධානීන්ගෙන්ද රහස් ‍පොලිසිය ප්‍රශ්න කර ඇති අතර ඒ සියලුදෙනාම තහවුරු කර ඇත්තේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න මෙම ගුරුවරයාගේ ප්‍රශ්න පත්‍රය සමග සියයට සියයක් සැසඳෙන බවය. ඒ අනුව ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවී ඇති බව පෙනී යන්නේ යැයි ප්‍රශ්න  පත්‍රය සකස් කළ ගුරුවරුන් ‍පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව තුළ සිටින ඇතැම් නිලධාරීන්ද මෙම විභාග වංචාවන්ට සම්බන්ධ බව මේ වන විට අනාවරණය වී ඇත. ඒ අනුව ඉදිරියේදි සාක්ෂි සහිතව විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ‍පොලිසිය සූදානමින් සිටී.

ගුරු සංගම් ප්‍රකාශ කරන්නේ දිගින් දිගටම මෙවැනි විභාග වංචා සිදුවූ බවත්, ඒවාට නිසි දඬුවම් ලබා නොදුන් නිසා විභාග වංචා අඛණ්ඩව සිදුවන බවත්ය. “මේ විභාග වංචාකරුවන්ට ලබාදෙන දඬුවම කුමක්දැයි දැන්වත් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළ යුතුයි. අධ්‍යාපන ඇමැතිවරයා වචන දහයක් කතා කළොත් අටක්ම වටිනා කියන මනුස්ස ජීවිත ගැන කතා කරන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන්ගේ ජීවිත වටිනා කියන මනුස්ස ජීවිත නොවෙයිද? මේ ළමුන් වෙනුවෙන් කරන සාධාරණය කුමක්ද?” මහින්ද ජයසිංහ ප්‍රශ්න කරයි.

ජෝසප් ස්ටාර්ලින් පවසන්නේ විභාග දෙපාර්තමේන්තුවද වහාම පරීක්ෂණයක් පවත්වා විභාග වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතු බවය.  “විභාග දෙපාර්තමේන්තුවට මේ ගැන සොයා බැලීම සඳහා පරීක්ෂණ කමිටුවක් කැඳවිය හැකියි. ආදර්ශ ප්‍රශ්න පත්‍රය හා විභාග ප්‍රශ්න පත්‍රය එකට තියලා සිදුවුණේ කුමක්ද කියලා බලලා අවසන් තීරණයක් ලබාදිය හැකියි. ඒත් විභාගය අවසන් වූ දිනය වනතුරුත් ඔවුන් කිසිදු තීරණයක් ගෙන නැහැ.” ස්ටාර්ලින් කීවේය.

ආණ්ඩුව අධ්‍යාපනය ක්‍රමයෙන් පුද්ගලීකරණය කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටින බවත් මේ නිසා ආණ්ඩුව හිතා මතාම විභාග වංචාවන්ට අනුබල දෙන බවත් ඔහු පවසයි. “මේ ක්‍රියාවලිය හිතාමතාම සිදුවන ක්‍රියාවලියක්. දේශපාලන අරමුණු ඇතිව, අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට පාර කැපීමට තමයි මේ වගේ ව්‍යාකූලතා ඇති කරන්නේ.” මහින්ද ජයසිංහ පවසයි. (ආන්දෝලනාත්මක ආදර්ශ ප්‍රශ්න පත්‍රය ලබාදුන් උපකාරක පංති ගුරුවරයා වන සම්පත් අත්තටගේ සම්බන්ධ කරගැනීමට ඔහුගේ ජංගම දුරකථනයට අපි දුරකථන ඇමතුමක් ගත්තෙමු. ඔහුගේ දුරකථනයට පිළිතුරු දුන් කෙනෙකු ප්‍රකාශ කළේ මෙවැන්නකි. ‘මම සම්පත් සර් ළග ඉන්න කෙනෙක් කතා කරන්නේ. දැන් සර් වෙන වැඩක ඉන්නේ. මම සර් හමුවුනාම ලක්බිම පත්තරෙන් කතා කළා කියන්නම්. ඔයාගේ දුරකථන අංකයත් දෙන්නම්. තෙරුවන් සරණයි.’)
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all