Photobucket

Saturday, December 29, 2012

හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

රටපුරා විවිධ ප්‍රදේශවලට රුපියල් පන්දහසේ සහ රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ රහසිගත මුද්‍රණාලයක් මහනුවර පේරාදෙණිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ දී වැටලූ මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය සැකකරුවන් දෙදෙනකු සමඟ රුපියල් දෙලක්ෂ හැටදහසක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබීය. 

අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාජ නෝට්ටු අතර, රුපියල් 5000/= මුදල් නෝට්ටු 18ක් හා 1000/= මුදල් නෝට්ටු 170ක් තිබූූ බව පොලිසිය පවසයි. පොලිසියට ලද තොරතුරක් මත කිරිබත්කුඹුර ඕවල පාරේ පිහිටි අදාළ ස්ථානය වැටලූ අතර, එහිදී නවීන පරිගණක උපාංග කට්ටලයක්, කැමරා, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් සොයාගනු ලැබීය.

මෙයට අමතරව මෙම මුද්‍රණාලයේ තිබී සිද්ධියේ ප්‍රධාන සැකකරුට අයත් ව්‍යාජ හැඳුනුම්පත් හතරක්, විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 09ක් හා ජංගම දුරකථන 03ක් ද හමුවී ඇත.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්පති ජී. බී. පෙරමුණේ යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක වූ මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් පරීක්ෂක ටී. වෑත්තෑව, පොලිස් සැරයන් ගාමිණී (17918) ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කළහ.
සිද්ධිය සම්බන්ධ මහා මොළකරු අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී එක් විෂයක් පමණක් සමත්වූ අයෙක් බවත්, ඔහු උසස් අධ්‍යාපන ආයතන රැසකින්ම වෘත්තීය ඩිප්ලෝමා සහතික ලබාගෙන ඇති බවට ව්‍යාජ සහතික මඟින් කරුණු ඉදිරිපත් කැර ඇත.

මේ අතර මෙම මුද්‍රණාලයේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගන්නා කඩදාසි 303ක් ද පොලිසිය සොයාගෙන තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all