Photobucket

Sunday, December 9, 2012

අපි එහෙනම් ගිහින් එන්නම් ඇසුණු නෑසුණු සැමට ස්‌තූතියි!

කන් නෑසෙන බැවින් ඔවුනට කථාකිරීමට නොහැකිය. එබැවින් ඔවුන්ගේ කථාව කියන්නට හඬක්‌ ඔවුනට නැතිවිය. නමුත් අපි ඔවුනගේ හඬ වීමු. ඔවුන් ගොළු වුවද, ඔවුන්ගේ හැකියාව ගොළු නොවන බැවින් ඒ හැකියාවට අවස්‌ථාව සලසා දෙන මෙන් අපි බලධාරීන්ගෙන් ඉල්ලුවෙමු. ඒ 'ආසියානු කුසලාන' අවස්‌ථාවයි. අපි පෙනී සිටියේ ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට්‌ කණ්‌ඩායම වෙනුවෙනි. පකිස්‌තානයේ පැවැත්වෙන ආසියානු කුසලාන වෙනුවෙන් එහි යැමට 'බර පැන' අහිsමිව සිටි ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට්‌ කණ්‌ඩායම සහභාගීත්වය අවිනිශ්චිතව අසරණව සිටින අන්දම අපි "නෑසෙන ඔවුන් වෙනුවෙන් ඇසෙන ඔබට" යන සිරසින් යුතුව ඉකුත් නොවැම්බර් 11 දා 'ඉරිදා දිවයින' ක්‍රීඩා සංග්‍රහයේ පළකළෙමු. හදවතක්‌ ඇති වගකීමක්‌ ඇති යමෙකු හට යුතුකමක්‌, වගකීමක්‌ ඉටුකරනු වෙනුවෙන් අපි අවස්‌ථාව සලසාදුන්නෙමු. ඔවුන් නිහඬවම මාස ගණනක්‌ දහඩිය වැගිර වූ 'ආසියානු කුසලාන' සූදානම අවසානයේ කඳුළක්‌, සුසුමක්‌ බවට පත්ව අපතේ යැමට නොදෙනු පිණිස අපි රටටම ඇසෙන්නට මේ 'අසරණකම' ගැන කීවෙමු.

එම ලිපියෙන් අපි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අවධාරණය බලාපොරොත්තු වූයෙමු. ක්‍රීඩා ඇමැතිතුමාට ආමන්ත්‍රණය කළෙමු. මේ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවේ රාජ්‍ය මට්‌ටමේ වගකීම පැවරී ඇති සමාජ සුබසාධන අමාත්‍ය ෆීලික්‌ස්‌ පෙරේරාට ආමන්ත්‍රණය කළෙමු. ශ්‍රව්‍යාබාධිත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකයා සහ කණ්‌ඩායමේ සාමාජිකයන් සිව් දෙනකු මාතරින් පැමිණි අය බැවින් ක්‍රිකට්‌ සහ මාතර යන දෙකටම වගකීම්, යුතුකම් ඉටුකරනු ඇතැයි අටියෙන් සනත් ජයසූරිය මන්ත්‍රීතුමාටද ආමන්ත්‍රණය කළෙමු. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌aඩායමේ ක්‍රීඩකයන්ගෙන්ද සහෝදර ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ වෙනුවෙන් හැකි යමක්‌ කරන මෙන් ඉල්ලා සිටියෙමු. ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ආසියානු කුසලාන සංචාරය වෙනුවෙන් ගුවන් ටිකට්‌පත් සඳහා වැයවෙන රුපියල් ලක්‍ෂ 15 ක මුදල හෝ ඒ සඳහා සැලකිය යුතු දායකත්වයක්‌ දැරීමට නොහැකියාවක්‌ ඒ කිසිවෙක්‌ තුළ නැතැයි අපි නොසිතුවෙමු. මේ සියලු දෙනා යුහුසුලුව සිය දායකත්වය දක්‌වනු ඇතැයි ද සිතුවෙමු. අපගේ ඉල්ලීමට සැලකිල්ලක්‌ වශයෙන් නොව, මනුෂ්‍යත්වයට සැලකිල්ලක්‌ වශයෙන් මේ කිසිවෙකුත් අහක නොබලනු ඇතැයි අපි උදෙක්‌ම විශ්වාස කළෙමු.

ලිපිය පළ වී පසුදාම එක්‌ මහත්මයෙක්‌ ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට්‌ කණ්‌ඩායම සොයා පැමිණියේය. ඇස්‌ ඇත්තේ නමුදු අන්ධයන් මෙන් සිටින වගකිවයුතු ඇත්තන්ගේ 'අවස්‌ථාවාදී නිහඬතාව' ගැන දැඩි කලකිරීමෙන් යුතුව වචන කිහිපයක්‌ කථා කළ ඒ මහතා තමන් හරිහම්බකරගත් මුදලින් රුපියල් 20,000ක්‌ කණ්‌ඩායමේ නිලධාරීන් වෙත භාරදී කණ්‌ඩායමට සුබ පතා යන්නට ගියේය. ඒ කවුද?

අනෙකකු නොව, ඒ ප්‍රවීන ක්‍රිකට්‌ විස්‌තර විචාරක ප්‍රේමසර ඈපාසිංහය. තරගයක ආරම්භයේ පටන් අවසානය දක්‌වා උගුර ලේ රස වන තුරු තරග විස්‌තරය අප ඇස්‌ ඉදිරියේ මවන ඈපාසිංහ මහතා එයින් සරිකරගත් මුදල කණ්‌ඩායම වෙත ලබාදුන්නේ පියකුගේ බඳු ආශිර්වාදයක්‌ද සමගිනි. එය සුබ ආරම්භයක්‌ විය.

ක්‍රිකට්‌ පරිපාලකයෙකු සහ ව්‍යාපාරිකයකු වන කේ. මතිවානන් මහතාද දායකත්වය සැපයීය. මොබිටෙල් සමාගම ඇඳුම් අනුග්‍රහයට ඉදිරිපත් විය. එච්.එන්. බී. ඇෂුවරන්ස්‌ සමාගම ඉහළ දායකත්වයක්‌ සැපයීය. එහෙත් තවත් රුපියල් ලක්‍ෂ 10 පමණ මුදලක්‌ අවශ්‍ය විය.

අවසානයේ ඉකුත් 17දා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ විධායක කමිටු සැසියේදී, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ යෝජනාවක්‌ පරිදි අදාළ රුපියල් ලක්‍ෂ 10 ක මුදල ලබාදීම සම්මත විය. එය වූ කලී ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට්‌ කණ්‌ඩායම් අහිංසකයන්ගේ 'ආසියානු කුසලාන සිහිනය' සැබෑකළ දායකත්වය විය. තරමක ප්‍රමාදයකින් පසුව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සිය යුතුකම ඉටුකිරීමට ඉදිරිපත්වීම ප්‍රසංසාත්මකය. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ගනුදෙනු සහ වියදම් සමග සසඳන විට රුපියල් ලක්‍ෂ 10 ක්‌ යනු සොච්චමක්‌ වුවද ඒ සොච්චම මේ අසරණයන්ට මහමෙරක්‌ විය. එය ඔවුනට 'තටු දුන්' පරිත්‍යාගය විය. හෙට (10 දා) ඔවුන් පකිස්‌තානය බලා යැමට ගුවන්ගත වනු ඇත.

සැබැවින්ම පෙර තරග සැලසුමට අනුව මේ ගමන යෙදී තිබුණේ මෙයට සති දෙකකට පෙරය. නමුත් රූපවාහිනී විකාශනය සම්බන්ධයෙන් තරග සංවිධායකයන්ට පැනනැගුණු ගැටලුවක්‌ මත ශ්‍රව්‍යාබාධිත ආසියානු ක්‍රිකට්‌ කුසලාන සති 2 කින් ප්‍රමාද විණි. මේ ප්‍රමාදය ශ්‍රී ලංකා කණ්‌ඩායමට සහනයක්‌ විය. ඒ ලැබුණු කාලය තුළ ඔවුහු ගමන සඳහා තවත් ශක්‌තිමත්ව සූදානම් වූහ.

සැබැවින්ම මුදල් අපහසුතාව හේතුවෙන් පෙර ඔවුන්ගේ සූදානම වූයේ සංචිතයේ ක්‍රීඩකයන් 13 දෙනකු පමණක්‌ මේ සඳහා සහභාගිකරවීමය. එය එසේ සිදුකර යම්හෙයකින් කණ්‌ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු ආබාධයට ලක්‌ වූයේ නම් ශ්‍රී ලංකා පිලට දෙවියන්ගේම පිහිටය. නමුත් ලැබුණු අතිරේක කාලයේ සහ ඉහත සඳහන් පිරිස්‌ සහ ආයතනවල දායකත්වයෙන් දැන් කණ්‌ඩායමේ 15දෙනාම පකිස්‌තානය බලා යැමට වරම් ලබා සිටින්නේය. සියල්ල සම්පූර්ණය.

එහෙත් අසම්පූර්ණ මිනිසුන් කිහිපදෙනකු ගැන ජුගුප්සාජනක මතකයන් කිහිපයක්‌ සිතෙහි කොණක තැන්පත්ව තිබේ.

එදා මේ අසරණ ශ්‍රී ලංකා කණ්‌ඩායම පත්ව සිටි තත්ත්වය ගැන අපි ඔබට කියූ එම ලිපියෙන් අවධානය යොමුකළ පිරිස අතරින් ඒ සඳහා ඉදිරිපත් වූයේ කීයෙන් කීදෙනාද?

මෙහිදී ප්‍රධාන දායකත්වය සැපයූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට මෙම ක්‍රීඩකයන් වෙනුවෙන් යමක්‌ කරන ලෙස පළමුවෙන්ම ඉල්ලීමක්‌ කළ පුද්ගලයා ලෙසින් මෙහිදී ක්‍රීඩා ඇමතිවරයාගේ 'ඇප' තරමකට බේරෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකයන්ගේ ඉදිරිපත්වීමක්‌ අපේක්‍ෂා කළ නොහැකි නමුත් මේ අසරණ ක්‍රීඩකයන් වෙනුවෙන් අඩුම තරමින් ක්‍රීඩා උපකරණ කට්‌ටලයක්‌ හෝ ලබාදීමට ඔවුනට හැකියාවක්‌ තිබුණේ නම් අගනේය.

එහෙත් සමාජ සුබසාධන අමාත්‍යවරයා අකුරු කියවිය නොහැක්‌කෙක්‌ යෑයි අපි නොසිතමු. මේ ක්‍රීඩකයන් වෙනුවෙන් එම අමාත්‍යංශය විසින් ලබාදෙන භාෂා පරිවර්තකයාට පවා දවසකට රුපියල් 1000 ක මුදලක්‌ අයකරන එම අමාත්‍යංශය සමාජ සුබසාධනය වෙනුවෙන් ලබාදෙන දායකත්වය කුමක්‌ දැයි අපි නොදනිමු. තමන්ගේ විෂය පථයට අයත් එක්‌ කුලකයක්‌ නියෝජනය කරනු ලබන 'තරු රැසක්‌' වෙනුවෙන් සමාජ සුබසාධන ඇමතිතුමාගේ අවධානය මෙසේ නම් අනිකුත් ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඔහුට කළ හැකි 'කෙන්ගෙඩියක්‌' නැතැයි කව්රුවත් නොකියන්න. මන්ද වගකීමක්‌ නොදන්නා පුද්ගලයන් වගකිවයුතු තැන්වලට ගෙනාවේ අපම බැවින් පළමු වැරැද්ද අපේම නිසාය.

ක්‍රිකට්‌වලට පිංසිදුවන්නට පාර්ලිමේන්තුවට රිංගාගත් උන්දෑ ගැන කියන්නට ඇත්තේත් ඒ ටිකමය. තමන් වෙනුවෙන් ජන්දය පාවිච්චි කළ මිනිසුන් වෙසෙන පෙදෙසේ ප්‍රබල නියෝජනයක්‌ සහිත ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට්‌ කණ්‌ඩායම වෙනුවෙන් මේ 'ක්‍රිකට්‌ මන්ත්‍රීතුමාගේ' දායකත්වය රුපියල් බිංදුවකි. එක අතකට ඒ මන්ත්‍රීතුමාට යමක්‌ කියන එකද අසාධාරණය. මන්ද, මන්ත්‍රී ප්‍රතිපාදන කෙසේ වෙතත් එතුමා හරිම අහේනියකින් පෙලෙන කාලයකි. බැරි අමාරුකම් කෙසේද යත් නැටුමක්‌ නටා හෝ ජීවිතය ගැට ගසාගන්නට සිදුව ඇති ඒ මහතාගේ තත්ත්වය අප තේරුම්ගත යුතුය. හරිනම් මේ ශ්‍රව්‍යාබාධිත ක්‍රීඩකයන් රෑන තමන්ට ලැබුණු මුදලින් කීයක්‌ හෝ මේ අසරණ මන්ත්‍රීතුමා වෙනුවෙන් දිය යුතුය. ගොළු බිහිරි පිරිසකට රුපියලක්‌ දීමට තරම්වත් වත්කමක්‌ නැති, එනම් දේශපාලනයෙන් හම්බකර නොගත් මෙවැනි ඇත්තන්ව යළි යළිත් පාර්ලිමේන්තුවට එවීමට ඒ බල ප්‍රදේශයේ ජන්ද දායකයන් 'උඩ පැන පැන' කතිර ගැසිය යුතුය.

පාදක ලිපියේදී සඳහන් නොකළත් මේ රටේ තාරුණ්‍යයේ හෙට දවස නියෝජනය කිරීම 'සින්නක්‌කර ඔප්පුවෙන්' ලියාගත් පිරිසක්‌ ද සිටිති. මේ සා තාරුණ්‍යය ගැන කැක්‌කුමකින් කථාකරන ඒ පිංකාර තරුණ පුත්තුන්ට, කන් නෑසෙන, කථා නොකරන මේ තරුණ පිරිස වෙනුවෙන් තාරුණ්‍යයේ යුතුකම් අමතකවීම පුදුමයකි. සමහරක්‌ විට ඒ රාජ කුමාරයන් මේ පිළිබඳ හාංකවිසියක්‌ හෝ නොදන්නවාද විය හැකිය. දන්නවා නම් අඩුම තරමින් ඉන්දියාවෙන් නළුවකු නිළියක 'ආනයනය' කිරීම වෙනුවෙන් වැයවන මුදලින් දහයෙන් එකක්‌ පමණ වන මුදලක්‌ යොදවමින් මේ මුළු කණ්‌ඩායම ම පකිස්‌තානයට යවනවා සිකුරුය.

ඉහත ඡේද කිහිපය සටහන් කළේ අහිංසක ඇමැතිකෙනකුට, මන්ත්‍රී කෙනකුට පහරදීමට නොව, අහිංසක ජන්දදායකයන් වෙනුවෙනි. සමහරක්‌ හිස්‌ චරිතවලට 'සාදු' කියන අහිංසක ක්‍රිකට්‌ ලෝලීන් වෙනුවෙනි. ඒ කෙසේවෙතත් අප ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට්‌ කණ්‌ඩායමට දැන් ආසියානු ශූරතා වරම හිමිව තිබේ. ඒ සඳහා මාධ්‍යයක්‌ ලෙස අපි අපේ වගකීම ඉටු කළෙමු. එපමණක්‌ නොව ඉන් මඳක්‌ ඔබ්බට ගොස්‌ සමාජයේ සැබෑ මිනිසුන් නොමිනිසුන් කව්රුන්ද යන්න තේරුම් ගැනීම පිණිස නිදර්ශකයක්‌ ලෙස මෙය යොදාගන්නා ආකාරය ගැන සමාජ පාඩමක්‌ කිරීමට ද අපට හැකි වූයේ යෑයි සිතමු.

ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all