Photobucket

Tuesday, December 11, 2012

සාග් ක්‍රීඩා උළෙල කුමන රටක තිබුණත් අපි ඊට සූදානම්

- ක්‍රීඩා ඇමැති කියයි

සාර්ක් කලාපය තුළ පැවැත්වීමට නියමිත මීළඟ ක්‍රීඩා උළෙලට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රවේශය නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා “ලක්බිම” සමග සඳහන් කර සිටියේය. ඉන්දීය ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීම පිළිබඳව ගත් තීරණයක් මත ජගත් ඔලිම්පික් කමිටුව විසින් පසුගියදා ඉන්දීය ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණයක් කර තිබුණි. 

ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත 12 වැනි සාග් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ අවිනිශ්චිත තත්ත්වයක් සාර්ක් කලාපයේ රටවල් තුළ පැතිරී තිබේ. මේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වා සිටි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ලබන සාග් ක්‍රීඩා උළෙල කොහේ පැවැත්වුණත් කවදා තිබ්බත්, කමක්නැහැ. මීළඟ සාග් ක්‍රීඩා උලෙල සඳහා අපි ලැබූ සූදානම එලෙසින්ම පවත්වාගෙන යනවා. මීළඟ ක්‍රීඩා උළෙලට යෝජිත ක්‍රීඩා 21ක් සඳහා අපි අදාළ ක්‍රීඩා සම්මේලන සමග සාකච්ඡා කරල ජාතික පුහුණු සංචිත පිහිටුවීමට කටයුතු කළා. අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීමට කටයුතු කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විධිමත් පුහුණුවක් මෙන්ම ඔවුනට යැපීමට මාසික දීමනාවක්ද ලබා දීමට කටයුතු කළා. වෙනදා මෙන් ක්‍රීඩා අමාත්‍යංශයට ලැබුණ මුදල් මෙවර අයා‍ලේ යාමට ඉඩ තිබ්බේ නැහැ. 

ඒ මුදල් රටේ ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට ප්‍රබල මෙහෙයුමක් දියත් කරලයි තියෙන්නේ. මේ සඳහා දැන් කොළඹ වෙනමම “සාග් මෙහෙයුම” නමින් කාර්යාලයක්ද ක්‍රියාත්මක වෙනවා. එක අතකින් සාග් ක්‍රීඩා උළෙල ටිකක් කල් ගිය එක ගැන මම සතුටු වෙනවා. ඇයි අපේ ලමයින්ට පදක්කම් ජයග්‍රහණ සඳහා අවශ්‍ය පුහුණුව නිසි පරිදි නොඅඩුව ලබා දීමට අපට හැකි වෙනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. මේ පිළිබඳව තවත් කරුණු දැක්වූ අමාත්‍ය අලුත්ගමගේ මහතා, “සාග් ක්‍රීඩා උළෙල කල් ගියාට ඒ ඒ ක්‍රීඩා සඳහා ආසියාතික ශූරතාවයන් ලබන වසරේ පැවැත්වෙනවා. 

අපේ සූදානම හරහා අපිට පුළුවන් තවත් ජාත්‍යන්තර අත්දැකීම් ලබා දෙන්න. දැනටමත් ක්‍රීඩා අටක් සඳහා විදෙස් පුහුණුකරුවන් කැඳවා තිබෙනවා. ඉදිරියේදී තවත් ක්‍රීඩා කීපයකට පුහුණුකරුවන් කැඳවනවා. අපේ සූදානම ඒ විදියටම ක්‍රියාත්මක කරනවා යැයි ඇමැතිවරයා පැවැසීය.
 
සුනිල් අභයවර්ධන
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all