Photobucket

Monday, December 3, 2012

ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ හොඳම නළුවා ජගත් චමිල හොඳම නිළිය සමාධි ලක්සිරි

අති උත්කර්ෂවත් ලෙස 17 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී ඊයේ (02) පැවැති ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේදී වසරේ හොඳම නළුවා ලෙස ජගත් චමිලත්, හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරිත් අභිෂේක ලැබූහ.

මෙවර උළෙ‍ලේ, වසරේ හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශයවූ ස්වයංජාත ටෙලි නාට්‍යයයි.

වසරේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය මෙවර පිරිනැමුණේ ස්වයංජාත ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් සුදත් රෝහණටය.

වැඩිම ජනතා මනාපය මත වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ධනංජය සිරිවර්ධනටත්, ජනප්‍රියතම නිළියට හිමි සම්මානය නදීශා හේමමාලිටත් හිමිවිය. ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සිහින පියාපත් ටෙලි නාට්‍යය සම්මාන ලැබිය.

මෙවර ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය මලින්ද පෙරේරාට හිමි වූ අතර, හොඳම නැගී එන නිළියට හිමි සම්මානය දිනක්ෂි ප්‍රියසාද්ට හිමිවිය.

අතුල පතිරණ හා චතුරිකා පීරිස් වසරේ හොඳම සහය නළුවා සහ සහය නිළිය යන සම්මානවලින් පිදුම් ලැබූහ.

ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ සුවිශේෂී සම්මානයක් වන කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන යූ.ඩබ්ලිව්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ප්‍රවීණ ගායන ශිල්පී සංගීත අධ්‍යක්ෂ ආචාර්ය වික්ටර් රත්නායක සහ ප්‍රවීණ රංගනවේදී සිරිල් වික්‍රමගේ යන මහත්වරුය. අඩසියවසකට ආසන්න කාලයක් පුරා ඔවුන් දෙදෙනා කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ අනුපමේය මෙහෙවර ඇගැයුමට ලක් කරමින් මෙම සම්මාන පිරිනැමිණ.

ඉකුත් වසරේදී රූපවාහිනී මාධ්‍යයෙන් විකාශනය වූ සියලු වැඩසටහන් ආවරණය වන පරිදි පුංචි තිරයේ විශිෂ්ට ප්‍රතිභාවක් පෙන්නුම් කළ කලාකරුවන් හා කලා කෘතීන් ඇගැයුමට ලක් කරමින් සම්මාන 60කට ආසන්න ප්‍රමාණයක් මෙවර ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේදී පිරිනැමිණ.

රූපවාහිනී නාලිකා විසින් ඉදිරිපත් කරන ලද විශේෂාංග ඇතුළු ගායන හා නර්තනාංග රැසකින් මෙවර උළෙල වර්ණවත් විය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙවර ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූවාය.

එහිදී අදහස් දැක්වූ ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ සංවිධායක කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ ඉතිහාසයේ මුල් යුගය හා සසඳනවිට වර්තමානයේ මෙරට රූපවාහිනී නාලිකා ප්‍රමාණය ඉහළ යාමත් සමග ඇති වී තිබෙන තරගකාරීත්වය හමුවේ රූපවාහිනී නිර්මාණවල ගුණාත්මකභාවය අඩුවී ඇති බවක් දැක ගත හැකි බවයි. 

 කෙසේ වෙතත් ඉකුත් වසරේ ටෙලි නිර්මාණවල ප්‍රමිතියේ යම් ඉහළ යාමක් දැකගත හැකි බවත් එම තත්ත්වය තවත් වැඩිදියුණු කිරීමට කලාකරුවන්ගේ වගකීම බවත් ඒ මහතා පැවැසීය. තවත් වසර කිහිපයකින් මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රය ඩිජිටල්කරණය කරා යොමුවීමත් සමග ජනතා ඉල්ලුම අනුව මෙම තරගකාරීත්වය තවත් ඉහළ යනු ඇති බවත් එහිදී නිර්මාණවල ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම සඳහා කලාකරුවන් සතු වගකීම තවත් ඉහළ යනු ඇති බවත් ඒ මහතා පැවැසීය.
නිමල් සිරිපාලද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එච්.එම්.ෆවුසි, ඩලස් අලහප්පෙරුම, ජීවන් කුමාරණතුංග, කුමාර වෙල්ගම, යන අමාත්‍යවරුන් තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, අනෝමා ගමගේ, චන්ද්‍රාණි බණ්ඩාර, විජිත හේරත්, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ජනාධිපති ‍ලේකම් ලිලිත් වීරතුංග, සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල, සුමති සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජගත් සුමතිපාල යන මහත්ම මහත්මීහුද කලාකරුවෝ, රසිකයෝ, ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා එක්ව සිටියහ. සම්මාන උළෙල සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව නොලද ලක්ෂ සංඛ්‍යාත කලා ලෝලීන් වෙනුවෙන් ඊයේ (02) රාත්‍රී 10.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේද ලක්ස් සුමති සම්මාන උළෙල විකාශය කෙරිණ.

කිෂාන් කනංකෙ 
ලක්බිම ඇසුරින් පල කරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all