Photobucket

Monday, December 3, 2012

රුපියල් කෝටි 600ක් රැස්කරන ලංකා බැංකු ණයකර නිකුතුව දින 10න් නිමයි

රුපියල් කෝටි හයසියයක මුදලක් එක්රැස් කර ගැනීමේ අරමුණින් නිකුත් කළ ණයකර නිකුතුව දින 10ක් සාර්ථකව සපුරා ගන්නට ලංකා බැංකුව සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් නිකුත් කළ විශාලතම ණයකර නිකුතුව මෙය විය. එය කොටසක් රුපියල් සියය බැඟින් කොටස් කෝටි 06 (60,000,000) කින් සමන්විත විය. 

මේ කොටස් සියල්ලම දින 10ක් ඇතුළත විකිණී අවසන්වීම ගැන සතුටු වන බව ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී. ඒ. ලයනල් මහතා “දිනමිණ”ට පැවැසීය.ලංකා බැංකුව කෙරෙහි රටේ මහජනතාව තබා ඇති විශ්වාසනීයත්වය හා මූල්‍ය ස්ථාවරත්වයක් ගැන ඇති ජනතා ප්‍රසාදය මේ ගනුදෙනුව තුළින් මනාව ප්‍රදර්ශනයවූ බවද ලයනල් මහතා කීය. 

මේ අන්දමට ලංකා බැංකුව රැස්කරගත් මුදල රටේ උතුරු - නැෙඟනහිර පළාත්වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ දියුණුවට යෙදවීමට බලාපොරොත්තු වන බවද ලයනල් මහතා සඳහන් කෙළේය.ඊට අමතරව බැංකුව තම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නංවා ගැනීමට ද මෙය යොදා ගන්නා බව ඔහු කීය.

ලංකා බැංකුව වත්කම් වැඩි දියුණු කරගැනීම අරමුණින් නිකුත් කළ හතරවැනි ණයකර නිකුතුව මෙය විය. ඊට ප්‍රථම වසර 2008 දී රුපියල් බිලියන 4.7ක් ද, වසර 2010 දී රුපියල් බිලියන 05ක්ද, 2011 දී බිලියන 05ක්ද ලබාගැනීමට ණයකර නිකුතුව සිදුකොට ඇත. 

ජයසිරි මුණසිංහ
දිනමිණ ඇසුරින් පල කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all