Photobucket

Friday, December 28, 2012

සිරිපා වන්දනා සමය ඇරැඹේ

ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඬුව හා දේව ආභරණ සුබ නැකතට උඩමළුවේ තැන්පත් කිරීමෙන් පසු මෙවර සිරිපා වන්දනා සමය ඊයේ (27) ආරම්භ කෙරිණි.

උඳුවප් පුන් පොහෝ දින ඇරැඹි සිරිපා වන්දනා සමය එළඹෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන්වීමට නියමිතය.

පැල්මඩුල්ල ගල්පොත්තවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ පුරා මාස හයක් තැන්පත් කැර තිබූ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඬුව හා දේව ආභරණ රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය වෙත වැඩම කැරවීමෙන් පසු එහි සිට පෙරේදා (26) රාජ්‍ය අනුග්‍රහය ඇතිව සංවිධානය කෙරුණු පෙරහරකින් හැටන් නල්ලතන්නිය හා ශ්‍රී පළාබද්දල මාර්ග ඔස්සේ දේව ආභරණ, සමන් දෙව් රුව හා සධාතුක කරඬුව උඩමළුව වෙත වැඩම කරවනු ලැබීය.

ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල ගල්පොත්තවෙල ශ්‍රී පාද රජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර ලක්ෂපාන හා කුරුවිට  යුද හමුදා කඳවුරුවල හමුදා නිලධාරීන් විශේෂ දෝලාවකින් සධාතුක කරඬුව, දේව ආභරණ හා සමන් දෙව් ප්‍රතිමාව උඩමළුව වෙත වැඩම කැරවීම මෙවර සුවිශේෂී සිද්ධියකි. සිල් සමාදන් වීම සඳහා පැමිණි සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ සමන්දෙව් ප්‍රතිමාව, දේව ආභරණ හා සධාතුක කරඬුව උඩමළුවේ ශ්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කරනු ලැබූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all